රජයේ වාහනයක් වෙන්දේසියක් හරහා අඩු මිලකට ලබා දෙන බවට පොරොන්දු වී වෛද්‍යවරයෙකුගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ඊයේ (19) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මූල්‍ය වංචාව සිදුවන සමයේදී මෙම සැකකාරිය වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අනුයුක්තව, ගුවන් සේවා අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිට ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ. රජයේ වාහන වෙන්දේසි කරන අවස්ථාවකදී ඉන් වාහනයක් ඉතා අඩු මුදලකට ලබා දිය හැකි බව පවසමින් ඇය අගතියට පත් වෛද්‍යවරයාගෙන් රුපියල් 2,27,00000 කට අධික මුදලක් ලබාගෙන ඇත. එහෙත් පොරොන්දු වූ පරිදි වාහනය ලබා නොදීම හේතුවෙන් තමා ලබා දුන් මුදල ආපසු ලබා දෙන ලෙස වෛද්‍යවරයා අවස්ථා කිහිපයකදීම ඇයට දැනුම් දී ඇති නමුත්, සැකකාරිය විසින් වාහනය හෝ අදාළ මුදල යළි ලබා දීම පැහැර හැර ඇති බවට අනාවරණය වී තිබේ.
අගතියට පත් වෛද්‍යවරයා විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රාජිත වර්ණප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශන සිදු කෙරේ. ඊට අමතරව උප පොලිස් පරීක්‍ෂක ෂෙහාර මෙන්ඩිස්, සැරයන් (72180) වසන්ත සහ කාන්තා පොලිස් කොස්තාපල් (12320) දීපිකා යන නිලධාරීහු ද මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා එක්ව සිටිති.