
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කර ඇයගේ ස්මාර්ට් ජංගම දුරකථනය සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව, දුරකථනය පැහැරගැනීමේ චෝදනාවට පමණක් වරද පිළිගත් හිටපු යුද හමුදා සෙබළෙකුට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා විසින් ඊයේ (23) මාස හයක අනිවාර්ය සිරදඬුවමක් නියම කරන ලදී. ගල්නෑව, නව නගරය, ඩී තුන ඇළ පාර ප්‍රදේශයේ පදිංචි කේ.
බී. මධුරංග රත්නායක නැමැති මෙම විත්තිකරුට සිරදඬුවමට අමතරව රුපියල් 1500 ක දඩ මුදලක් ද ගෙවන ලෙස අධිකරණය විසින් නියම කර තිබේ.එමෙන්ම, වෛද්‍යවරියගෙන් පැහැරගත් ජංගම දුරකථනය සඟවා තබාගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාවට වරද පිළිගත් සැකකාර හිටපු සෙබළාගේ සහෝදරිය වන ශාලිකා හර්ෂණී රත්නායක සහ එච්. කේ. මිතිල සම්පත් කුමාරසිංහ යන අයට ද මාස හය බැගින් වූ සිරදඬුවම් නියම කෙරිණි. කෙසේ නමුත්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් දෙදෙනාගේ සිරදඬුවම වසර දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට නියෝග කළ අතර, ඊට අමතරව ඔවුන්ට ද රුපියල් 1500 බැගින් දඩ නියම කරන ලදී.
වෛද්‍යවරිය දූෂණය කිරීමේ ප්‍රධාන සිද්ධිය සම්බන්ධයෙන් මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම හිටපු හමුදා සෙබළා, දැඩි ඇප කොන්දේසි සහිතව මුදාහැරීමට මීට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. එහෙත් මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් අදාළ ඇප කොන්දේසි සපුරාලීමට ඔහුට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති අතර, ඔහුට විදෙස් ගතවීම වළක්වාලමින් අධිකරණය මගින් තහනම් නියෝගයක් ද පනවා ඇත. මීට අමතරව, ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ වෙනත් චෝදනාවක් ද පවතින බැවින්, දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කළ දින දීම සැකකරුට නැවතත් රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවීම විශේෂත්වයකි.
මෙම අපරාධයට අදාළව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවල සටහන් නීතිපතිවරයාගේ දැනුම්දීම මත මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. ඒ අනුව, ඉදිරියේදී නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නියමිතව තිබේ.
සැකකරු සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියට මීට පෙර නියෝග කර තිබූ අතර, පැවැත්වූ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී වින්දිත වෛද්‍යවරිය විසින් සැකකරුව ඉතා පහසුවෙන් හඳුනාගන්නා ලදී. මෙම නඩුව සඳහා මාස හතක් පුරාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටි විත්තිකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර, අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටියේය. පැමිණිල්ල මෙහෙයවීම අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානි සෙනවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා විසින් සිදුකරන ලදී.



