ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අයත් 'මාර්-ඒ-ලාගෝ' (Mar-a-Lago) නිවාඩු නිකේතනයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. ඉරිදා අලුයම 1:30 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇත.
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාර රහස් ඔත්තු සේවය (Secret Service) සඳහන් කළේ මෙම පුද්ගලයා ගිනි අවියක් සහ ඉන්ධන අඩංගු කෑන් එකක් ද රැගෙන දැඩි ආරක්ෂාවක් සහිත කලාපයට නීතිවිරෝධී ලෙස ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි.මෙලෙස මියගොස් ඇත්තේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචිව සිටි විසි හැවිරිදි තරුණයෙකි. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මෙම සිදුවීම වන අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ රැඳී සිටි බව තහවුරු වී ඇත. කෙසේ වෙතත්, ඔහු සාමාන්‍යයෙන් සති අන්තය ගත කරන්නේ මෙම නිවාඩු නිකේතනයේ වීමද විශේෂත්වයකි. මේ අතර, බලධාරීන් විසින් සැකකරු සතුව තිබී සොයාගත් ගිනි අවියේ සහ රතු පැහැති ඉන්ධන කෑන් එකෙහි ඡායාරූපයක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
රහස් ඔත්තු සේවයේ නිලධාරීන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ, නිවාඩු නිකේතනයේ උතුරු දොරටුවෙන් මෝටර් රථයක් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඊට මුවා වී මොහු ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි. එහිදී ක්‍රියාත්මක වූ ආරක්ෂක නියෝජිතයින් දෙදෙනෙකු ඔහුව නවතා අත ඇති ආයුධ බිම දමන ලෙසට නියෝග කර ඇත. තරුණයා ඉන්ධන බහාලුම බිම තැබුවද, ගිනි අවිය වෙඩි තැබීමට හැකි අයුරින් ඉහළට එසවීම හේතුවෙන් ආරක්ෂක අංශ ඔහුට වෙඩි තබා ඇත. පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මොහු අතුරුදන් වී ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් දින කිහිපයකට පෙර පැමිණිලි කර ඇති බවත්, ඔහු උතුරු කැරොලිනාවේ සිට දකුණට පැමිණෙන අතරතුර මෙම ගිනි අවිය මිලදී ගෙන ඇති බවත්ය. ඔහුගේ මෝටර් රථයේ තිබී ගිනි අවිය බහා තිබූ පෙට්ටිය ද සොයාගෙන තිබේ.
මීට පෙරද ජනාධිපති ට්‍රම්ප්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වූ අවස්ථා වාර්තා විය. 2024 ජූලි 13 වන දින, එනම් ජනාධිපතිවරණයට මාස හතරකට පෙර පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී ද ඔහු ඝාතනය කිරීමට උත්සාහයක් දියත් විය. එහිදී අඩි 400 ක පමණ දුරක සිට විසි හැවිරිදි තරුණයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් ඔහුගේ කනක් අසලින් ගමන් කළ අතර, වහාම ක්‍රියාත්මක වූ ස්නයිපර් භටයින් එම ප්‍රහාරකයාද ඝාතනය කළහ. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් ඔහුව ආවරණය කරගෙන සිටියදී ඔහු අත ඔසවාගෙන සිටින ඡායාරූපය ලොව පුරා දැඩි කතාබහට ලක්විය.
ඇමරිකානු ජනාධිපතිවරයාට අයත් මෙම 'මාර්-ඒ-ලාගෝ' නිවාඩු නිකේතනයට ඇතුළු වීම සඳහා විශේෂ සාමාජිකත්වයක් ලබා ගත යුතු අතර එය ඉතා දැඩි කොන්දේසි යටතේ සිදු කෙරෙන්නකි. එහි ජීවිතාන්තය දක්වා වූ සාමාජිකත්වය සඳහා ඉන්දීය රුපියල් කෝටි 8.5 ක පමණ මුදලක් අය කරන බව සඳහන් වේ. මුදල් ගෙවීමට හැකියාව තිබුණද, බැංකු ගිණුම් විස්තර, සමාජ තරාතිරම සහ පවුල් පසුබිම පිළිබඳව දැඩි අධ්‍යයනයකින් පසුව පමණක් සාමාජිකත්වය ලබා දීම මෙහි ඇති සුවිශේෂීත්වයකි. ලොව පුරා සිටින ධනවතුන් විශාල පිරිසක් මේ සඳහා අයදුම් කළද සාමාජිකත්වය හිමිවන්නේ ඉතා සුළු පිරිසකට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.