my-congratulations-to-the-government-and-people-of-sri-lanka-on-the-progress-made---imf-dr-kristalina-georgieva

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා (Kristalina Georgieva) ඇයගේ පළමු නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නීය. 'දිට්වා' (Ditwa) සුළි කුණාටුව වැනි දේශගුණික තත්ත්වයන් නිසා ආර්ථිකයට එල්ල වූ දරුණු ප්‍රහාරයන්ගෙන් පසු, ශ්‍රී ලාංකීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ගමන් මගේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටියදී ශ්‍රී ලංකාව IMF සහාය ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව කරගෙන යන අතරතුර අත්පත් කරගෙන ඇති ප්‍රගතිය, ඉදිරියේ ඇති අවදානම් පිළිබඳව ඇය සමග දෙරණ නාලිකාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහතින්




නිවේදිකාව:ආචාර්ය ජෝර්ජියේවා, මෙය ඔබේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි. අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ගත් කල, සංකේතාත්මකව සහ ප්‍රායෝගිකව මෙය ඔබට සහ ශ්‍රී ලංකාවේ අපට කුමන අර්ථයක් ගෙන දෙන්නේද යන්න දැනගැනීමට මට අවශ්‍යයි. තවද, IMF වැඩසටහන ආරම්භ කළ දා සිට අප අත්කර ගෙන ඇති වැදගත්ම සහ සුවිශේෂීම ජයග්‍රහණ ලෙස ඔබ පෙන්වා දෙන්නේ මොනවාද?

ආචාර්ය ජෝර්ජියේවා: ආර්ථිකය කඩාවැටීමට ආසන්නව තිබූ කාලයේ සිට මේ දක්වා රට ඉතා විශාල ප්‍රගතියක් ලබා ඇති බැවින් මම මෙහි පැමිණීම ගැන ඇත්තෙන්ම ඉතා සතුටු වෙනවා. එමෙන්ම ඔබ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට මාගේ සුබපැතුම් එක් කරනවා.




නමුත් රටේ ඇතැම් ප්‍රදේශ විනාශ කළ සුළි කුණාටුවෙන් පසුව, අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමේ අරමුණින් මෙහි පැමිණීමට ලැබීම ගැනත් මම සතුටු වෙනවා. රටට මුහුණ දීමට සිදුව ඇති මෙම දැවැන්ත අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාවගේ ශක්තිය, ඔබ පෙන්වන ඔරොත්තු දීමේ හැකියාව සහ ඔබ ඉතා පැහැදිලිව ළඟා කරගෙන ඇති සමගිය දැක බලා ගැනීමට මෙය මට අවස්ථාවක් වුණා.

නිවේදිකාව:ඔබ 'දිට්වා' කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සහ එම ජනතාව හමුවීමට ගිය බව මට දැනගන්නට ලැබුණා. ශ්‍රී ලංකාව පසු කරමින් සිටින මෙම දුෂ්කර තත්ත්වය ඔබට පුද්ගලිකවත් යම්කිසි සමීප හැඟීමක් ගෙන දෙන බව පෙනෙනවා.



ආචාර්ය ජෝර්ජියේවා: ඩිට්වා කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාව හමුවීමට මට අවස්ථාවක් ලැබුණා. සිදුවූ විපතෙහි බිහිසුණු බව ඔවුන්ගේ හිත්වල රැඳී තිබුණත්, ජනතාව තවමත් ශක්තිමත්ව සිටින ආකාරය මම දුටුවා. මම මීට පෙර මානුෂීය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළා. ස්වභාවික විපත් සහ ගැටුම් හේතුවෙන් විනාශයට පත් වූ බොහෝ ස්ථානවලට මා ගොස් තිබෙනවා. ඒ අනුව මට කියන්න පුළුවන් දෙය තමයි, ඔබට ඉන්නේ අපූරු ජනතාවක්. අතිශය වේදනාකාරී මොහොතක වුවද ඔවුන් එකට එකතු වී අනාගතය ගැන සිතනවා.

රජය කෙතරම් ඉක්මනින් සහ තීරණාත්මකව මේ වෙනුවෙන් පියවර ගත්තාද යන්න ගැනත් මම ඉතා පැහැදීමට පත්වුණා. IMF ආයතනය විදිහට අපට හදිසි මූල්‍ය ආධාර සැපයීමට හැකි වුණා. ඩොලර් මිලියන 200කට වැඩි මුදලක් ඉතා කාලෝචිත ලෙස ලැබුණා. එබැවින් මෙම ජනතාවට තමන්ට සිදුවූ විපතෙහි වේදනාව තනිවම දරාගැනීමට සිදුවන්නේ නැහැ.

මම ඔබට තවත් දෙයක් කියන්නම්. ඒ දරුවන්ගේ මුහුණු දෙස බලන විට, රට ගැන බලාපොරොත්තුවකින් මගේ හදවත පිරී යනවා. මන්ද ශ්‍රී ලංකාවේ සැබෑ ස්වභාවය වන උණුසුම් සහ ත්‍යාගශීලී බව මම ඔවුන්ගෙන් දකිනවා. ප්‍රජාව මෙතරම් දුෂ්කරතා හරහා ගොස් තිබියදීත්, ඔබේ කාලය සහ ඔබගේ පිළිගැනීම ඉතා ත්‍යාගශීලීයි.

නිවේදිකාව:යුද්ධය අවසන් වීමෙන් පසු ගතවූ වසර 10 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මූල්‍යමය, බාහිර, දේශපාලනික හෝ දේශගුණික කම්පන වශයෙන් දරුණු පහරවල් එල්ල වී ඇති බව මා සිතනවා. ඔබ සඳහන් කළ පරිදි මෑතකදී, එනම් අද උදෑසන ඔබ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවුණා. මෙම ඉතා කෙටි සංචාරය අතරතුරදී කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව හමුවීමටත් ඔබ කාලය වෙන් කළා. ශ්‍රී ලංකාව මෙම කම්පනයන් හමුවේ ඔරොත්තු දෙමින් සිටින පසුබිමක, දේශපාලන නායකයින් සහ බලධාරීන් හමුවීමේදී ඔබේ පණිවිඩය කුමක්ද?

ආචාර්ය ජෝර්ජියේවා: ඇත්ත වශයෙන්ම, පසුගිය දශකය පුරා ශ්‍රී ලංකාවට බොහෝ අභියෝග එල්ල වී තිබෙනවා. එය සිවිල් යුද්ධයක් පසුකර ආවා, ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා, වසංගතය ඔබට බලපෑවා, 2004 සුනාමියෙන් රටට පහර වැදුණා. ඉන්පසුව ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමේදී රජය අසමත් වෙමින් පවතින්නේය යන හැඟීම නිසා සමාජ නොසන්සුන්තාවයක් ද ඇති වුණා.

දැන් අපට රට වෙනුවෙන් විශාල අවස්ථාවක් උදා වී තිබෙනවා. මම හිතන්නේ පළමු වතාවට ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් තිබෙනවා වගේම, එම විශ්වාසය පවත්වා ගැනීමට ඔවුන් සිය කාර්යභාරය ඉටු කරමින් සිටිනවා. අපගේ අත්දැකීම් අනුව මට කරුණු කිහිපයක් කියන්න අවශ්‍යයි. පළමුව, කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය යළි ලබා ගත්තා. උද්ධමනය 70% ක්ව පැවතුණා. දැන් එය 2% දක්වා අඩු වී තිබෙනවා. ආර්ථික වර්ධනය සෘණාත්මක මට්ටමක තිබුණා. දැන් අපට 5% ක පමණ ආර්ථික වර්ධනයක් තිබෙනවා.

අනෙක් ඉතා වැදගත් කරුණ නම්, රාජ්‍ය සේවය කෙරෙහි විශ්වාසයක් තිබිය යුතු බව රජයේ මතය වීමයි. එහි අර්ථය දූෂණය තුරන් කළ යුතු බවයි. දූෂණය තුරන් කිරීමේ මෙම සටනට අපට උපකාර කළ හැකි වන පරිදි, පාලන තක්සේරුවක් (governance assessment) කරන ලෙස රජය අපෙන් ඉල්ලා සිටි ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි. ඒ වගේම ජනතාවගේ යහපැවැත්ම පිළිබඳ අව්‍යාජ උනන්දුවක් ජනාධිපතිවරයා සහ රජයේ සාමාජිකයින් තුළ ඇති බව මම දුටුවා. රටක් එක්සත් වූ විට සාර්ථකත්වය ලැබෙන බව මම දන්නවා. මේ රජය එය සාක්ෂාත් කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

නිවේදිකාව:එය අපව IMF සහාය ලබන වැඩසටහනකට එකඟ වීමට ශ්‍රී ලංකාව තීරණය කළ අවස්ථාව වෙත නැවත ගෙන යනවා. ශ්‍රී ලංකාවේ එම තීරණය එකල මතභේදාත්මක වූ අතර, මහජන විරෝධයක් සහ යම් මතභේදාත්මක දේශපාලන විරෝධයක්ද එල්ල වුණා. නමුත් අද ඔබ කතා කරන තැන සිට බලන විට, උග්‍ර අර්බුදකාරී අවස්ථාවන්හිදී අප වැනි රටවලට (නැගී එන වෙළඳපොළවලට) ඇත්තේ සීමිත තේරීම් ප්‍රමාණයක්. ඔබ අද විස්තර කළ පරිදි ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රකෘතිමත් වීම සහ ඔබගේ අත්දැකීම් අනුව, ඔබ එම තීරණය දකින්නේ කෙසේද?

ආචාර්ය ජෝර්ජියේවා: පසුගිය දශක කිහිපය තුළ IMF වෙනස් වී තිබෙනවා. අපි තවදුරටත් අර පරණ සම්ප්‍රදායික IMF එක නෙවෙයි. අපගේ වැඩසටහන්වලදී අපි ජනතාව කෙරෙහි විශාල අවධානයක් යොමු කරනවා. ඇත්ත වශයෙන්ම, රටක් වැඩසටහනක් හරහා යන විට අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවයට සහ සමාජ ආරක්ෂණයට බාධාවක් නොවන පරිදි සමාජ වියදම් සඳහා අවම මට්ටමක් (floor) නියම කරන ලෙස අපි රජයන්ගෙන් ඉල්ලා සිටිනවා. අපට දැනට වැඩසටහන් 50 ක් තිබෙනවා. පහයි, බිංදුවයි. ඇයි මෙතරම් ගණනක්? මන්ද අපි ජීවත් වන්නේ ඉතා වේගයෙන් වෙනස් වන ලෝකයකයි. එය වඩාත් කම්පනවලට ගොදුරු වන ලෝකයක් වන අතර, බොහෝ රටවලට IMF හි මූල්‍ය සහාය අවශ්‍ය වී තිබෙනවා.

එය ඔබේ අයිතිවාසිකමක් ලෙස සිතන්න. දුෂ්කර මොහොතකදී හුදෙකලා නොවී සිටීමට, උපකාරක හස්තයක් ලබා ගැනීමට සහ රට වඩාත් යහපත් මාවතකට හැරවීමට උපකාර කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලයේ විශේෂඥතාව ලබා ගැනීමට ඔබට ඇති අයිතිය ලෙස සලකන්න. අපට සාමාජික රටවල් 191 ක් සිටිනවා. අපි ඒ සෑම රටකින්ම ඉගෙන ගන්නා අතර අපි මෙම අත්දැකීම් අන් අය සමඟ බෙදා ගන්නවා. අපි හරියට එක් රටකින් තවත් රටකට හොඳම භාවිතයන් සම්ප්‍රේෂණය කරන රැහැනක් වගෙයි.

මම යුරෝපීය ජාතිකයෙක්. ඒ නිසා මම ඔබට මේ දේ කියන්නම්, අද යුරෝපයේ හොඳම ආර්ථික ක්‍රියාකාරිත්වයක් ඇති පෘතුගාලය, අයර්ලන්තය සහ ග්‍රීසිය යන රටවල් සියල්ලම මෑතකදී IMF වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ නිසා ශ්‍රී ලංකා ජනතාවට මම කියන්නේ, අපි ඔබේ මිතුරා, අපි පැමිණෙන්නේ ඔබේ සේවයට. නමුත් ඔව්, විසඳිය යුතු ගැටළු සඳහා අපි අවධානය ඉල්ලා සිටිනවා.

අංක එක, මූල්‍ය ශක්තිමත්භාවය. පවුලක් තමන් උපයන ප්‍රමාණයට වඩා වියදම් නොකළ යුතු සේම, රටක්ද තමන් උපයන ප්‍රමාණයට වඩා වියදම් නොකළ යුතුයි. දෙවනුව, විශේෂයෙන් දුප්පතුන්ට බදු බරක් වන ආකාරයේ උද්ධමනයකින් ජනතාව පීඩාවට පත් නොවන පරිදි, මිල ස්ථායිතාව පිළිබඳ තීරණ ගත හැකි ස්වාධීන මහ බැංකුවක් තිබීම. තුන්වනුව, ආර්ථික වර්ධන උපාය මාර්ගයක් පිළිබඳව සිතා බැලීම. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා උත්පාදනය වන අයුරින් පෞද්ගලික අංශයට දියුණු වීමට අපට ඉඩකඩ විවෘත කළ හැක්කේ කෙසේද යන්න සොයාබැලීම.

නිවේදිකාව:අවිනිශ්චිතභාවය යනු "නව සාමාන්‍යය" (new normal) බව ඔබ අඛණ්ඩව විස්තර කර තිබෙනවා. ඒ වගේම ගෝලීය ආර්ථිකයෙන් එල්ල වන අවදානම්, මූල්‍ය තද කිරීම් සහ ප්‍රාග්ධන ගලායෑම් ගැන අප කතා කරනවා. එබැවින් මෙම දුෂ්කර මෙන්ම අවිනිශ්චිත කාලපරිච්ඡේදය හරහා ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වෙනුවෙන් IMF හි කාර්යභාරය කුමක්ද? එමෙන්ම කුඩා ජාතීන්ට IMF හි සහාය අපේක්ෂා කළ හැක්කේ කෙසේද?

ආචාර්ය ජෝර්ජියේවා: කලකට පෙර තිබුණාට වඩා භූ දේශපාලනික සාධක අද විශාල කාර්යභාරයක් ඉටු කරනවා. වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් වෙමින් පවතිනවා, තාක්ෂණය අප ජීවත් වන සහ වැඩ කරන ආකාරය පරිවර්තනය කරමින් තිබෙනවා. ඊට අමතරව දේශගුණික විපර්යාසයන්ද තිබෙනවා. මේ සියල්ල එක් වූ විට අසාමාන්‍ය ලෙස ඉහළ සහ නොනැසී පවතින අවිනිශ්චිතතාවයක් නිර්මාණය වෙනවා.

IMF ආයතනය විදිහට අපි කරන්නේ සියලුම රටවලින් තොරතුරු රැස්කර, අද ලෝකය පවතින්නේ කොතැනද සහ එය ගමන් කරන්නේ කොයිබටද යන්න පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමයි. අවිනිශ්චිත කාලවලදී, අපි අපගේ සෑම සාමාජිකයෙකුටම වැඩි විශ්වාසයක් ලබා දෙනවා. රටේ ජනතාවට හිතකර වන ඉදිරි ගමන් මඟ කුමක්දැයි අපට එකට එක්ව නිර්වචනය කළ හැකියි. ශ්‍රී ලංකාව අපූරුයි. මෙය සුන්දර රටක් වගේම මෙහි මිනිසුන් ඉතා උණුසුම් සහ කාරුණිකයි. ඔබට ඉතා හොඳ අනාගතයක් උදා වනවා දැකීමට අපට අවශ්‍යයි, එමෙන්ම අප දන්නා සියල්ල ඔබගේ සේවයට ලබා දීමට අප සූදානම්.

නිවේදිකාව:අප කලින් කතා කළ අවදානම් සහ නිතර ඇතිවන කම්පන හමුවේ, තම ආර්ථිකයන් සහ ජනතාව ආරක්ෂා කර ගැනීමටත්, ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීමටත් රජයන් සතුව කුමන ආකාරයේ ආරක්ෂිත සංචිත (buffers) තිබිය යුතු යැයි ඔබ නිර්දේශ කරනවාද?

ආචාර්ය ජෝර්ජියේවා: අපගේ නිර්දේශය නම්, පළමුව, හොඳ විදේශ විනිමය සංචිතයක් පවත්වා ගැනීමයි. ඇත්ත වශයෙන්ම එම සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා අපි ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරමින් සිටිනවා. දෙවනුව, ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමෙන් මූල්‍ය සංචිත ගොඩනඟා ගැනීම. එවිට කම්පනයක් ඇති වූ විට ඔබේ ජනතාව සහ ව්‍යාපාර ආරක්ෂා කළ හැකියි. තුන්වනුව, පෞද්ගලික අංශයේ නිර්මාණශීලීත්වය සහ අනුවර්තනය වීමේ හැකියාව මත වඩාත් රඳා පවතින වර්ධන උපාය මාර්ගයක් තිබීම. මන්ද සීඝ්‍ර වෙනස්වීම් සිදුවන කාලවලදී, සැබෑ ආර්ථික අවස්ථා හඳුනා ගැනීම රජයන්ට වඩාත් දුෂ්කර වන අතර, ව්‍යාපාරවලට ඊට වඩා වේගයෙන් වෙනස්කම්වලට හැඩගැසිය හැකියි.

නිවේදිකාව:කුඩා ආර්ථිකයන් ගැන අපි කතා කළා, නමුත් භූ දේශපාලනික ආතතීන් සහ දේශගුණික කම්පන දකින විට, මෙම කුඩා ආර්ථිකයන්ට සිදුවන බලපෑම පිළිබඳව මම නැවතත් ඔබෙන් අවධාරණයෙන් විමසන්න කැමතියි. ඒ අනුව නැවතත් ඇතිවන අවදානම් මොනවාද?

ආචාර්ය ජෝර්ජියේවා: කුඩා විවෘත ආර්ථිකයන්, අනෙකුත් රටවල් සිදු කරන වෙනස්කම් වලට බලපෑමට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මගේ පණිවිඩය වන්නේ "පළමුව ඔබේ නිවස පිළිවෙලකට තබා ගන්න" යන්නයි. ඔබේ නිවස පිළිවෙලට තබා ගැනීම ඔබට භාරයි. අන් අය කරන දේට ඔබට බලපෑම් කළ නොහැකි වුවත්, ඔබේම ඉරණමට බලපෑම් කිරීමට ඔබට හැකියි. එමෙන්ම කුඩා ආර්ථිකයන් සමාන අදහස් ඇති අය සමඟ එක්විය යුතු බවද අපි තරයේ නිර්දේශ කරනවා. අපි කලාපීය ඒකාබද්ධතාවය වඩාත් ප්‍රවර්ධනය කරනවා. ඇත්ත වශයෙන්ම, මෙහි දකුණු ආසියාවේ රටවලට වඩාත් සැලකිය යුතු වෙනස්කම් සහිත මේ ලෝකය තුළ ඔවුනට උපකාර කළ හැකි ආර්ථික සහයෝගීතාවයක් ගොඩනැගීම සඳහා එකිනෙකා සමඟ වැඩිපුර වෙළඳාම් කිරීමට ඉඩකඩක් තිබෙනවා.

අප අවට බලන විට, ගෝලීය සහයෝගීතාවය දැන් වඩා දුෂ්කර විය හැකි බවට බොහෝ කලාපවලින් පිළිබිඹු වෙනවා අප දකිනවා. එබැවින් අපගේ කලාපීය සහයෝගීතාවය ගැඹුරු කිරීමෙන් අපි එය සමනය කර ගනිමු. ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (GCC) තුළ, මෙහි අග්නිදිග ආසියාවේ ඔබේ අසල්වැසියන් වන ආසියාන් (ASEAN) සංවිධානය තුළ අප එය දකිනවා. එය මෙහිදීත් වඩාත් දැකීමට අපි නිසැකවම කැමතියි.

නිවේදිකාව:එය අපව ණය ප්‍රශ්නය වෙත ගෙන යනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ණය යනු ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට IMF ඉදිරිපත් වුණා. නමුත් අපි ණය ගැන කතා කරන විට, ශ්‍රී ලංකාවට පමණක් නොව මෙවැනි තත්ත්වයකට පත්වන ආර්ථිකයන් සඳහා ඔබට දිය හැකි ප්‍රතිපත්තිමය උපදෙස් මොනවාද?

ආචාර්ය ජෝර්ජියේවා: ණය සමඟ කටයුතු නොකිරීමට කළ හැකි හොඳම දෙය නම් මුලින්ම ණය ගොඩනගා නොගැනීමයි. එබැවින් ණය එකතු වීම වැළැක්වීම සඳහා ශක්තිමත් ණය කළමනාකරණ ප්‍රතිපත්ති සහ කාර්යාල ඇති කිරීම වෙනුවෙන් අපි අපගේ සාමාජිකයින් සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. එය දැනටමත් සිදුවී ඇත්නම්, තීරණාත්මකව සහ ඉක්මනින් ක්‍රියා කරන්න. ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන ඇති අතර, එය නිවැරදිවම, මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබෙනවා. ඔබ ඉදිරියට යන විට අපගේ උපදෙස වන්නේ, සුපරීක්ෂාකාරී වන්න. නැවත ණය ගොඩගැසීමට ඉඩ නොදෙන්න යන්නයි.

නිවේදිකාව:දුෂ්කර වෙනස්කම් විඳදරාගනිමින් සිටින ශ්‍රී ලාංකිකයින් වශයෙන්, අවසානයේ සහනයක් ලැබෙන්නේ කවදාදැයි සහ සැවොම අපේක්ෂා කරන ආකාරයේ ආර්ථික සමෘද්ධියක් අප සමාජයේ බිම් මට්ටමට ළඟා වන්නේ කවදාදැයි කල්පනා කරමින් සිටිනවා. ඒ අනුව මැඩම්, ශ්‍රී ලංකා ජනතාවට ඔබ ලබාදීමට කැමති පණිවිඩය කුමක්ද?

ආචාර්ය ජෝර්ජියේවා: එකට සිටිමින් ඔබේ සමගිය අගය කරන්න. ඔබ වඩාත් ශක්තිමත් වී රට සතුව ඇති සුවිශේෂී ගුණාංගවලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ආගන්තුක සත්කාරයෙන් පිරි, සංචාරක කර්මාන්තයට ඉතා සුදුසු රටක් මෙය. යුරෝපයටද සංචාරක ව්‍යාපාරය වැදගත් අංශයක්. ව්‍යවසායකත්වයෙන් පිරිපුන් රටක් බැවින් නව ව්‍යාපාර, නව අදහස් ක්‍රියාත්මක කළ හැකියි. දුෂ්කරතාවලට මුහුණ දෙන මිනිසුන්ට එකිනෙකා මත විශ්වාසය තැබිය හැකි රටක් මෙය. මේ වන විට විශ්වාසවන්ත රජයක්ද ඔබට තිබෙනවා. වඩා හොඳ අනාගතයක් සඳහා එක්ව කටයුතු කරන්න.

නිවේදිකාව:ඊළඟ වතාවේ ඔබ පැමිණෙන විට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඔබට යම් කාලයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ නැරඹීමට බොහෝ දේ තිබෙනවා.

ආචාර්ය ජෝර්ජියේවා: ඔව්, එහි නැරඹීමට බොහෝ දේ ඇති බව මම දන්නවා. මගේ පෞද්ගලික සංචාරයක් සඳහා සැලසුමක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට හැකි වන පරිදි මම මගේ මුණුබුරු මිණිබිරියන්වද මෙහි රැගෙන එනවා.

නිවේදිකාව:බොහොම ස්තූතියි. ශ්‍රී ලංකාවට ඔබව නැවත පිළිගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔබගේ කාලය වෙනුවෙන් නැවතත් ස්තූතියි.

ආචාර්ය ජෝර්ජියේවා: ස්තූතියි.

my-congratulations-to-the-government-and-people-of-sri-lanka-on-the-progress-made---imf-dr-kristalina-georgieva