hemal-attacked-you-saying-my-name-is-not-in-your-reviews---film-critic-lakmina

පසුගිය ජනවාරි මස 08 වනදා හැව්ලොක් සිටි සිනමා සංකීර්ණයේදී සිදුවූ බව කියන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ, ඊයේ (03) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. වෙළෙඳ දැන්වීම් නිර්මාණ ශිල්පියෙකු සහ සිනමා විචාරකයෙකු වන ලක්මිණ රණසිංහ මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

සිනමා විචාර ලියන ලක්මිණ මහතා 'මාරියා' චිත්‍රපටයේ විචාරයකදී හේමාල් ගැන කිසිවක් ලියා නොතිබීම මත ඇතිවූ කේන්තියක් නිසා චිත්‍රපට එළිදැක්මක ඔහු දුටු අවස්ථාවේ මෙම පහරදීම සිදුකර ඇතැයි පැමිණිල්ලේ දැක්විණි.




සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කරුණු සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත රංගන ශිල්පියා මුදා හැරීමටයි. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ වැල්ලවත්ත පොලිසිය සඳහන් කළේ අදාළ ස්ථානයේ සීසීටීවී දර්ශන ඔස්සේ මේ පිළිබඳ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

මෙහිදී සැකකාර හේමාල් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික වේරගොඩ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා කිසිදු පහරදීමක් සිදු නොකළ බවයි. පැමිණිලිකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විචාර හේතුවෙන් තම සේවාදායකයා දිගින් දිගටම අවතක්සේරුවට සහ අපහසුතාවයට පත්ව ඇති බවත්, අදාළ දිනයේදී දෙදෙනා මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ "ලක්මිණ එන්න අපි කතා කරමු" යැයි පවසමින් අතින් ඇදීමක් පමණක් සිදුකළ බවත් විත්ති පාර්ශවය අවධාරණය කළේය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් සමථයකට පත්වීමේ හැකියාව පවතින බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.




කෙසේ වෙතත් පැමිණිලිකාර ලක්මිණ රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට ප්‍රකාශ කළේ 'මාරියා' චිත්‍රපටයේ විචාරයකදී සැකකරු පිළිබඳව සඳහන් නොකිරීමේ කාරණයක් මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බවයි. තම සේවාදායකයාගේ බිරිඳ සහ දරුවා ඉදිරියේදීම ඔහුගේ හිසට සහ බෙල්ලට පහර දී ඇති බවත්, ඒ හේතුවෙන් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුවූ බවත් නීතිඥවරයා සඳහන් කළේය. අතින් ඇදීමේ ස්වභාවය සීසීටීවී දර්ශන මගින් තහවුරු වන බවත්, සැකකරු මීට පෙරද අයිස් ක්‍රීම් නමැති චිත්‍රපටයේ විචාරයකද තමන් ගැන නරක ලියා ඇතැයි සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම් උත්සව අවස්ථාවකදීද මෙවැනි පහරදීමේ ක්‍රියාවන් සිදුකර ඇති බවත් එම අවස්ථාවේ නිහඩව සිට ඇති බවත් පැමිණිලි පාර්ශවය වැඩිදුරටත් කියා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය ලබා දුන් අතර, නඩුව නැවත මැයි මස 14 වන දින කැඳවීමට දින නියම කෙරුණි.