those-who-beat-up-the-legal-officers-of-the-rainbow-trafficker-were-arrested

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පෙනී සිටි නීතිඥවරුන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කර ඔවුන් ගමන් ගත් මෝටර් රථයට පහර දී අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන්නේ මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (01) අලුයම මාදම්පේ, කජුලන්දවත්ත ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. පසුගිය ජනවාරි 30 වන දින අදාළ නීතිඥවරුන් අධිකරණ කටයුතු නිමවා පිටව යමින් සිටියදී නුගේගොඩ ගම්සභා හන්දිය ආසන්නයේදී පුද්ගලයින් කණ්ඩායමක් මාර්ගය අවහිර කර මෙම අපරාධය සිදු කර ඇතැයි මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. එහිදී එම කණ්ඩායම නීතිඥවරුන් ගමන් ගත් මෝටර් රථය වට කර, ඔවුනට මරණ තර්ජන එල්ල කරමින් රථයට පහර දී සාපරාධී බිය ගැන්වීමක් සහ අනර්ථයක් සිදු කර තිබූ බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබූ අතර, විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මාර්ගය අවහිර කිරීම, සාපරාධී බිය ගැන්වීම, අනර්ථය සිදු කිරීම සහ නීති විරෝධී ජන රාශියක සාමාජිකයෙකු වීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අද (01) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි. නීතිඥවරුන්ගේ නීත්‍යානුකූල රාජකාරියට බාධා කරමින් මෙම අපරාධයට සම්බන්ධ වූ තවත් සැකකරුවන් පිරිසක් සිටින බැවින්, ඔවුන් සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරනු ලබයි.