පසුගිය 13 වැනිදා සිකුරාදා දහවල් අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැල් රථගාලකදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නිසංසලා වෙල්ලාලආරච්චි යන මහත්ම මහත්මීන් ටී-56 ගිනි අවියකින් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නියෝජ්‍ය පොලිස්පති ශාමත් විජේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක බස්නාහිර පළාත් දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව මෙම මෙහෙයුම් දියත් කර ඇති අතර, ඝාතකයින් පැමිණි සහ පලාගිය මාර්ගයන් සීසීටීවී දර්ශන ඔස්සේ මේ වන විටත් පරීක්ෂාවට ලක් කර ඇත.
එම තාක්ෂණික විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඝාතකයින්ට ගමන් කිරීම සඳහා මෝටර් රථයක් සහ ගිනි අවි සැපයූ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි සහෝදරයින් දෙදෙනෙකු මහරගම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්විය. වයස අවුරුදු 20 සහ 24 වන නදුන් කවීෂ සහ සනෝජ් කෝකිල නැමැති මෙම සැකකරුවන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් බවට තහවුරු වී තිබේ. පන්නිපිටිය ප්‍රදේශයේ ආයතනයකින් දින කිහිපයක් සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් (GPS තාක්ෂණය ඔස්සේ ගමන් මඟ තහවුරු කරගෙන ඇත) පැමිණ ඇති මොවුන්, විදෙස්ගතව සිටින 'මල්වානේ ටුටූ' සහ 'මෝදර නිපුන' යන අයගේ දුරකථන උපදෙස් මත ක්‍රියා කර ඇත. ඒ අනුව වැල්ලම්පිටිය, අංගොඩ ප්‍රදේශයේ ඒටීඑම් යන්ත්‍රයක් අසලදී වෙනත් පාර්ශවයකින් ලබාගත් ගිනි අවි පාර්සලය අදාළ දිනයේදී ඝාතකයින්ට ලබා දීම මොවුන් විසින් සිදු කර තිබේ.
වාහනය අකුරේ ගොඩට පැමිණි මාර්ගය විමර්ශනය කරන විශේෂ විමර්ශන කණ්ඩායමට ඝාතකයින් ඝාතන ඉලක්කය වෙත පැමිණෙන්නට කලින් අසල එක්තරා ස්ථානයක දී වාහනය ආසන්නයට පැමිණෙන අයෙක් වාහනයට යමක් ලබා දෙන ආකාරය නිරීක්ෂණය විය. වහාම එම සැකකටයුතු පුද්ගලයින් පැමිණි වාහනය හඳුනාගෙන එම වාහනයේ හිමිකාරිත්වය සොයා ගැනුණි. වාහනය ලියාපදිංචි වී තිබුණේ කාන්තාවක නමටය.
එම කාන්තාව ඇමතූ විමර්ශකයින්ට දැනගන්නට ලැබුණේ වාහනය පන්නිපිටියේ වාහන කුලියට දෙන ස්ථානයකට කුලියට ලබා දී ඇති බවය. එම ආයතනයෙන් තොරතුරු විමසනවිට අනාවරණය වන්නේ පුද්ගලයෙක් විසින් දින තුනක් සඳහා වාහනය කුලියට ලබාගෙන ඇති බවය. වාහන කුලියට දෙන ආයතනය විසින් එම වාහනයට ජීපීඑස් තාක්ෂණය ඇතුළත් කර තිබිණි. වාහනය ඒ මොහොතේ තිබෙන තැන සම්බන්ධව ඒ හරහා නිශ්චිතව දැනගත හැකි විය. ඒ අනුව මෝටර් රථය සොයා ගැනුණි. ඒ මහරගමදීය.
මෙම ආයුධ ප්‍රවාහන ජාලයට සම්බන්ධ වූ "පොල්ගස්ඕවිට ඩිලා" නැමැති 28 හැවිරිදි පුද්ගලයා මෙන්ම සැකකරුවන්ට ආරක්ෂාව සැපයූ බව කියන හෝටල් පරිශ්‍රයක සිටි තවත් දෙදෙනෙකුද බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මක අපරාධ ජාලයක ස්වරූපය ගත් මෙම මෙහෙයුමේදී ආයුධ සපයන්නන්, ප්‍රවාහනය කරන්නන් සහ වෙඩික්කරුවන් එකිනෙකා සෘජුව හඳුනන්නේ නැති අතර, සියලු සම්බන්ධීකරණ කටයුතු ඩුබායි සිටින 'ටුටූ' නැමැත්තා විසින් සිදු කර ඇත. පොලිසිය විසින් මේ වන විට ඔහුගේ සියලු දුරකථන දත්ත සහ සබඳතා අනාවරණය කරගෙන ඇති අතර, සෘජුවම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් දෙදෙනාද හඳුනාගෙන අවසන්ය.
සැකකරුවන්ගේ ප්‍රකාශ මත මෙම ඝාතනය 'කරන්දෙණිය සුද්දා'ගේ මෙහෙයවීමක් බවට අනුමාන කෙරුණද, ඝාතන සැලසුම සම්බන්ධයෙන් ඔහුගේ සෘජු දුරකථන මැදිහත්වීමක් මෙතෙක් තහවුරු වී නොමැත. කෙසේ වෙතත්, වෙඩික්කරුවන්ගේ හැසිරීම මීට පෙර කරන්දෙණිය සුද්දාගේ මෙහෙයවීමෙන් සිදු වූ අම්බලන්ගොඩ සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු කෝසල ඝාතන සිද්ධියට බෙහෙවින් සමාන බව විමර්ශකයින් නිරීක්ෂණය කර තිබේ. එම අතීත අපරාධ සැලසුම්වලදී සැකකරුවන් හිටපු පොලිස්පතිවරයෙකුට අයත් නිවසක රැඳී සිටි බවට වූ තොරතුරුද සැලකිල්ලට ගනිමින්, මෙම අපරාධ ජාලයන් සහ ඉහළ පොලිස් නිලධාරීන් අතර පැවතිය හැකි සබඳතා පිළිබඳවද සමාජය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
මෙම ද්විත්ව ඝාතනයට විරෝධය පළ කරමින් දිවයින පුරා නීතිඥවරුන් වර්ජනයක නිරත වූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයෙකු ඉදිරිපත් නොවීය. එහෙත් වින්දිත පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු නීතිඥවරුන් සියයකට අධික පිරිසක් අධිකරණයේ පෙනී සිටි අතර, සැකකරුවන් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එහිදී පොලිසියට අවසර හිමි විය. අපරාධකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටීමේ වෘත්තීය ආචාර ධර්ම සහ ඊට එල්ල වී ඇති පාතාල තර්ජන පිළිබඳවද මෙම සිදුවීමත් සමග නව නීතිමය සහ සමාජීය සංවාදයක් ඇති වී තිබේ.
