හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා දිවයිනේ නානා දෙසින් පැමිණෙන සැදැහැවතුන්ගේ ගමනාගමන පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. මෙම විශේෂ දුම්රිය සේවාව 2026 වසරේ පෙබරවාරි මස 05 වන දින සිට පෙබරවාරි 10 වන දින දක්වා ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල සහ කොළඹ කොටුව අතර ධාවනය වන විශේෂ දුම්රිය පස්වරු 07.15 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන අතර එය පස්වරු 09.56 වන විට කොළඹ කොටුව වෙත ළඟා වීමට නියමිතය. නැවත ආපසු ගමන් ගන්නා දුම්රිය පසුදා අලුයම 01.00 ට කොළඹ කොටුවෙන් පිටත් වී අලුයම 03.37 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය වෙත ළඟා වනු ඇත.
ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වන විශේෂ දුම්රිය පස්වරු 06.30 ට රඹුක්කනින් පිටත් වන අතර එය පස්වරු 08.51 වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණීමට නියමිතව තිබේ. එම දුම්රිය නැවත අලුයම 01.00 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර අලුයම 03.15 වන විට රඹුක්කන දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට නියමිතය.
මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සිට මරදාන දක්වා ධාවනය කරනු ලබන විශේෂ දුම්රිය පස්වරු 07.10 ට අලුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වී පස්වරු 08.57 ට මරදාන දුම්රිය ස්ථානය වෙත පැමිණෙනු ඇත. නැවත මරදාන දුම්රිය ස්ථානයෙන් අලුයම 02.00 ට ගමන් ආරම්භ කරන එම දුම්රිය අලුයම 03.47 වන විට අලුත්ගම වෙත ළඟා වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී සිටී.