a-special-traffic-plan-for-the-sarvajna-dhatu-exhibition-on-february-5-11

ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේලාගේ විශේෂ ප්‍රදර්ශනයක් 2026 පෙබරවාරි මස 05 වන දින උදෑසන 06.00 සිට 2026 පෙබරවාරි මස 11 වන දින පෙරවරු 07.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පුණ්‍යෝත්සවය වෙනුවෙන් එම දිනවල විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පැය 24 පුරාම මෙම ප්‍රදර්ශනය ක්‍රියාත්මක වන බැවින් බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ගෙන ඇති ආරක්ෂක විධිවිධානවලට සහාය වන ලෙසත්, රථවාහන නීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශාල ජනකායක් රැස්වන බැවින් ගැටකපන්නන් සහ සොරුන් වැනි අපරාධකරුවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, තමන් සතු රන් ආභරණ සහ මුදල් පසුම්බි වැනි දේපළ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් බැතිමතුන්ට උපදෙස් ලබා දී ඇත. තවද සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය කෙරෙන කුටිය තුළට ජංගම දුරකථන, ගමන් මලු, ජැකට් සහ විද්‍යුත් උපකරණ රැගෙන යාමෙන් වැළකිය යුතු අතර ආරක්ෂක අංශ මගින් සිදුකරන පරීක්ෂා කිරීම් සඳහා සහාය ලබා දිය යුතුය.




බැතිමතුන්ගේ ගමනාගමන පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් (Shuttle Service) සංවිධානය කර ඇති අතර, පැරණි එම්.ඕ.ඩී (MOD) භූමියේ රථගාල, පෝර්ට් සිටි (Port City) රථගාල සහ ෂැංග්‍රිලා හෝටලය අසල රථගාලේ සිට ගංගාරාම විහාරස්ථානය දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වේ. ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුළ මාර්ග කිහිපයක රථවාහන ඇතුළුවීම සීමා කර ඇති අතර, ජේම්ස් පීරිස් මාවත සහ ජිනරතන මාවත හන්දියෙන්, හුණුපිටිය වැව පාර හන්දියෙන්, ලේක් ක්‍රසන්ට් හන්දියෙන් සහ පාර්ක් වීදිය දෙසින් ජිනරතන මාවත ඔස්සේ විහාරස්ථානයට ඇතුළුවීම වසා තබනු ලැබේ. මීට අමතරව ස්ටෙපල් වීදිය සහ ජේම්ස් පීරිස් මාවත දෙසින් මුත්තයියා පාර හන්දිය ඔස්සේ මුත්තයියා පාරට ඇතුළුවීමද සීමා කර ඇත.

බර වාහන ගමනාගමනය සීමා කිරීම යටතේ උත්තරානන්ද මාවත ඔස්සේ පෙරහැර මාවතට හා නවම් මාවතට ඇතුළුවීමත්, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුළුවීමත් තහනම් කර ඇත. එසේම යුනියන් පෙදෙස ස්ටෙපල් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදියට හා ඩෝසන් වීදියට ඇතුළුවීමත්, ඉබ්බන්වල හන්දියෙන් හයිඩ් පාර්ක් කෝනර් වෙත ඇතුළුවීමත්, ධර්මපාල මාවත දෙසින් පාර්ක් වීදියට හා හුණුපිටිය හරස් පාරට ඇතුළුවීමත් බර වාහන සඳහා සීමා කර තිබේ. පිත්තල හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුළුවීම ද බර වාහන සඳහා සීමා කර ඇත.




නවම් මාවත, පෙරහැර මාවත, රාමනායක මාවත, ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත, මුත්තයියා පාර, අල්ටයාර් ඇවනිව්, ස්ටෙපල් වීදිය, ඩෝසන් වීදිය, යුනියන් පෙදෙස, හයිඩ් පාර්ක් කෝනර්, බේබෲක් පෙදෙස, පාර්ක් වීදිය, ලේක් ක්‍රසන්ට්, හුණුපිටිය වැව පාර සහ ධර්මපාල මාවත යන මාර්ගවල රථවාහන නවතා තැබීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. පැමිණෙන ජනතාවට රථවාහන ගාල් කිරීම සඳහා ගාස්තු අය නොකරන සහ අය කරන ස්ථාන වෙන් කර ඇත. පෝර්ට් සිටි රථගාල, ෂැංග්‍රිලා හෝටලය අසල රථගාල, පැරණි එම්.ඕ.ඩී භූමිය, එෆ්.ආර්. සේනානායක මාවත, ධනපාල මාවත (විහාරමහා දේවී උද්‍යාන පෙදෙස), ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන් පාත්), පාසල් පාර, වොෂෝල් වීදිය රථගාල සහ කළම්බු සිටි සෙන්ටර් අසල පැරණි සතොස භූමිය යන ස්ථානවල ගාස්තු අය කිරීමකින් තොරව වාහන නැවැත්විය හැකිය. ගාමිණී වටරවුම අසල පුද්ගලික රථගාල, ලේක්හවුස් ඉදිරිපිට, ඇක්සස් ටවර් ගොඩනැගිල්ල, පැරණි මැනිං වෙළඳපොල භූමිය සහ චාමස් රථගාල යන ස්ථානවල මුදල් ගෙවා වාහන නැවැත්වීමේ පහසුකම් සලසා ඇත.

a-special-traffic-plan-for-the-sarvajna-dhatu-exhibition-on-february-5-11

a-special-traffic-plan-for-the-sarvajna-dhatu-exhibition-on-february-5-11

a-special-traffic-plan-for-the-sarvajna-dhatu-exhibition-on-february-5-11