‘ඔන්මැක්ස් ඞී.ටී’ (Onmax DT) නමැති නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් සතු රුපියල් කෝටි 800 කට අධික මුදලක් එම ආයතනයේ සැකකාර අධ්‍යක්ෂවරුන් විසින් වංචා කර ඇති බව හෝ එම මුදල් සොයා ගැනීමට නොහැකි දේපළක් බවට පරිවර්තනය කර ඇති බව නීතිපතිවරයා ඊයේ (09) අධිකරණය හමුවේ අනාවරණය කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
බෝදරගම මහතා ඉදිරියේ මෙම කරුණු දැක්වීම සිදු කෙරුණේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා පෙන්වා දුන්නේ මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති පැමිණිලි අනුව රුපියල් කෝටි 1100 කට අධික මුදලක් තැන්පත් කර ඇති බව පෙනී ගියද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සොයාගෙන ඇත්තේ රුපියල් කෝටි 260 කට ආසන්න දේපළක් පමණක් බවයි. සැකකාර අධ්‍යක්ෂවරුන් තැන්පත්කරුවන්ගේ මුදල් යළි ගෙවීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතත්, මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ රුපියල් කෝටි 800 කට අධික මුදල පියවීමට ඔවුන් කටයුතු කරන්නේ කෙසේද යන්න අධිකරණයට පැහැදිලි කළ යුතු බව ද රජයේ නීතිඥවරයා අවධාරණය කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින අතුල ඉන්දික, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දික ඇතුළු සැකකාර අධ්‍යක්ෂවරුන් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. කෙසේ වෙතත්, මෙම ජාවාරමට සම්බන්ධ බව කියන කකබර් අස්ලාන් ඉස්මත් නමැති සැකකරු මේ වන විට ජෝර්ජියාවේ රැඳී සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා යළි වරෙන්තු නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ වන විට දිවයින පුරා විසිරී සිටින පොලිස් ස්ථාන වෙත මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පැමිණිලි 20,931 ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව වංචා කර ඇති මුළු මුදල රුපියල් බිලියන 11 ඉක්මවන බව ගණනය කර තිබේ. එසේ වුවද රහස් පොලිසියට මේ දක්වා අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ රුපියල් බිලියන 2.6 ක දේපළ ප්‍රමාණයක් පමණක් වන අතර රුපියල් කෝටි 840 කට අධික මුදලක් පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
අදාළ මූල්‍ය සමාගමට අයත් ඉඩම් 31 ක් කොළඹ මහාධිකරණයේ නියෝග මත තහනම් කර ඇති අතර, සැකකරුවන්ට අයත් 'බයිනෑන්ස්' (Binance) ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. සැකකරුවන් විසින් අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය ඩිජිටල් මුදල් (Cryptocurrency) රජයට පවරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ රජය වෙනුවෙන් වෙනම බයිනෑන්ස් ගිණුමක් විවෘත කර අදාළ මුදල් ඊට බැර කිරීමට මහ බැංකුව කටයුතු කරමින් සිටින බවයි.
ඩිජිටල් මුදල් රාජසන්තක කර රජයේ ගිණුමක් වෙත පවරා ගැනීම ශ්‍රී ලංකාවේ සිදුවන පළමු අවස්ථාව මෙය බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, මෙම ක්‍රියාවලිය මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ නීත්‍යනුකූලව හා විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතු බව අවධාරණය කළේය. මෙම කටයුතු කඩිනම් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
අගතියට පත් තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ජාවාරම ප්‍රවර්ධනය කිරීමට දායක වූ පහළ මට්ටමේ නිලධාරීන් සහ ප්‍රවර්ධකයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. එසේම, සැකකාර අධ්‍යක්ෂවරුන් සතුව රෝල්ස් රෝයිස් සහ බී.එම්.ඩබ්ලිව්. වැනි සුඛෝපභෝගී වාහන පවතින බව ද ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයේ අවධානයට යොමු කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම ජාවාරමට සම්බන්ධ දෙවන පෙළ අධ්‍යක්ෂවරුන් හෝ ප්‍රවර්ධකයින් සිටී නම් ඔවුන් වහාම සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කළේය. විමර්ශන කඩිනම් කරන ලෙසත්, එහි ප්‍රගතිය ලබන ජූලි මස 31 වන දින අධිකරණයට වාර්තා කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.