වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකානු හමුදා භාරයට පත්ව ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක, වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් රුසියාවේ රැඳී සිටින බව විශ්වාස කටයුතු මූලාශ්‍ර හතරක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. කෙසේ වෙතත්, රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ඇයගේ හඬ පටයක් විකාශය වූ අතර, එහිදී ඇය ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටියාය.
එමෙන්ම ඇය කැරකස් අගනුවර සිටින බව අඟවන දර්ශන රාජ්‍ය මාධ්‍යයේ පෙන්වුවද, ඇය සැබවින්ම රුසියාවේ සිටින බවට මූලාශ්‍ර තහවුරු කර ඇත.මේ අතර, ඩෙල්සි රොඩ්‍රිගස්ගේ සහෝදරයා සහ ජාතික සභාවේ ප්‍රධානියා වන ජෝර්ජ් රොඩ්‍රිගස් කැරකස් හි රැඳී සිටින බව මූලාශ්‍ර තුනක් මගින් තහවුරු වී තිබේ. ඩෙල්සි රොඩ්‍රිගස් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වුවද, ප්‍රහාරයෙන් පසුව ජෝර්ජ් රොඩ්‍රිගස් මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඩෙල්සි රොඩ්‍රිගස් නව ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දී ඇති බවත්, ඇය අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බවත්ය. එහෙත් ඩෙල්සි රොඩ්‍රිගස් එම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, අමෙරිකානු හමුදා අත්අඩංගුවේ පසුවුවද වෙනිසියුලාවේ එකම ජනාධිපතිවරයා නිකොලස් මදුරෝ පමණක් බවයි.
වෙනිසියුලානු රජයේ ප්‍රබලතම චරිතයක් වන 56 හැවිරිදි ඩෙල්සි රොඩ්‍රිගස්, 1970 දශකයේ විප්ලවීය 'ලිගා සොසලිස්ටා' පක්ෂය පිහිටුවූ වාමාංශික ගරිල්ලා සටන්කරුවෙකු වූ ජෝර්ජ් ඇන්ටෝනියෝ රොඩ්‍රිගස්ගේ දියණියයි. 1969 මැයි 18 වන දින කැරකස් හි උපත ලද ඇය, වෙනිසියුලා මධ්‍යම විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තාය. පසුගිය දශකය තුළ එරට දේශපාලනයේ වේගවත් ගමනක් පැමිණි ඇය, 2013 සහ 2014 අතර කාලයේ ප්‍රවෘත්ති හා තොරතුරු අමාත්‍යවරිය ලෙසද, 2014 සිට 2017 දක්වා විදේශ අමාත්‍යවරිය ලෙසද කටයුතු කළාය. විදේශ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන සමයේ වෙනිසියුලාව සාමාජිකත්වයෙන් ඉවත් කර තිබියදීත්, බුවනෝස් අයර්ස් හි පැවති මර්කොසූර් වෙළෙඳ හමුවකට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීම නිසා ඇය ජාත්‍යන්තර අවධානයට ලක්විය.
ජනාධිපති නිකොලස් මදුරෝ විසින් ඇයව හඳුන්වනු ලබන්නේ සමාජවාදී රජය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන "ව්‍යාඝ්‍ර ධේනුවක්" ලෙසය. 2018 ජුනි මාසයේදී උප ජනාධිපති ධුරයට පත් වූ ඇයව මදුරෝ විසින් හැඳින්වූයේ "දහසක් යුද්ධවලින් පන්නරය ලැබූ, දිවි පිදූවෙකුගේ දියණියක් වන නිර්භීත කාන්තාවක්" ලෙසිනි. ඇය සිය සහෝදරයා වන ජෝර්ජ් රොඩ්‍රිගස් සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර, 2017 වසරේදී මදුරෝගේ බලතල පුළුල් කළ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළාය. විලාසිතා කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අයෙකු ලෙසද ඇය ප්‍රකටය.
උප ජනාධිපති ධුරයට අමතරව මුදල් අමාත්‍ය ධුරය සහ තෙල් අමාත්‍ය ධුරය ද හොබවන ඇය, වෙනිසියුලාවේ ආර්ථිකය කළමනාකරණය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 2024 අගෝස්තු මාසයේදී මදුරෝ විසින් ඇයට තෙල් අමාත්‍ය ධුරයද ලබා දුන් අතර, එරට ප්‍රධානතම කර්මාන්තය වන තෙල් කර්මාන්තයට එරෙහිව පනවා ඇති අමෙරිකානු සම්බාධක කළමනාකරණය කිරීමේ වගකීම ඇය වෙත පැවරිණි. අතිශය ඉහළ උද්ධමනය පාලනය කිරීම සඳහා සම්ප්‍රදායික ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් පුද්ගලික අංශය සමඟ සමීපව කටයුතු කිරීමටද ඇය පියවර ගෙන තිබේ.
අමෙරිකාව විසින් නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රටේ පාලනය අමෙරිකාව යටතට පත්වන බව ට්‍රම්ප් ප්‍රකාශ කළද, ඩෙල්සි රොඩ්‍රිගස්ගේ ස්ථාවරය වී ඇත්තේ මදුරෝ තවමත් රටේ නායකයා බවයි. ඇයගේ නිශ්චිත වාසස්ථානය පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක් නොමැති වුවද, රුසියාවේ සිටින බවට ලැබෙන වාර්තා සහ රාජ්‍ය මාධ්‍යයේ පෙනී සිටීම අතර පවතින පරස්පරතාව ඉදිරි දේශපාලන වාතාවරණය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ පවසති.