four-arrested-in-connection-with-saranankara-road-shooting

පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් ඊයේ (03) දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.




මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, අපරාධය සඳහා යොදාගත් යතුරුපැදියේ රියදුරු, ගිනිඅවිය භාරව සිටි සැකකරු, එය ප්‍රවාහනය කළ සැකකරු සහ අපරාධකරුවන්ට නවාතැන් සැපයූ පුද්ගලයා ඇතුළත්ය. ඔවුන් අවුරුදු 25, 28, 33 සහ 45 යන වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මූලික පොලිස් විමර්ශන අනුව, මෙම අපරාධය සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව අනාවරණය වී ඇත.




සැකකරුවන් සතුව තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවි තුනක්, 9mm වර්ගයේ ජීව පතරොම් දහයක්, හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් මෙන්ම අපරාධයට යොදාගත් යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිටදී සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එදින වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඉන් 16 හැවිරිදි දැරියක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබිණි.



සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.