trcsl-director-of-mahinda-government-anusha-palpita-remanded

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ තම නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 46 කට අධික වත්කම් රැස්කළ බවට චෝදනා එල්ල වී සිටින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ලබන පෙබරවාරි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂිකා නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, අදාළ කාල සීමාව තුළ උපයාගත් අතිවිශාල වත්කම්වලට අදාළ නීත්‍යානුකූල මූලාශ්‍ර හෙළි කිරීමට සැකකරු අපොහොසත් වීම හේතුවෙන් අල්ලස් පනතේ 23(අ) 1 වගන්තිය යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.

මෙම සිද්ධියට අදාළව 2015 වසරේදී ලද පැමිණිල්ලක් මත 2016 වර්ෂයේදී විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව ලිඛිතව විමසීම් කළද සැකකරු ඊට නිසි පිළිතුරු ලබා දී නොමැති බව අධිකරණයේදී අනාවරණය විය. විදේශගතව සිටින බිරිඳගේ නැගණිය සහ ඇයගේ සැමියා විසින් රුපියල් මිලියන 11 ක මුදලක් එවූ බවටත්, ඉඩමක් විකිණීමෙන් මුදල් උපයාගත් බවටත් සැකකරු ප්‍රකාශ කර තිබුණද, 2016 වසරේ සිට මේ දක්වා එම ප්‍රකාශ තහවුරු කිරීම සඳහා කිසිදු ලේඛනයක් කොමිසම වෙත ඉදිරිපත් කර නොමැති බව පැමිණිල්ල පෙන්වා දුන්නේය.




සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවත්, සැකකරුගේ බිරිඳගෙන් සහ ඇයගේ සහෝදරයාගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය. සැකකරුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද නිලධාරීන් ඉල්ලා සිටින ලදි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා කිසිදු අයථා වත්කම් උපයා ගැනීමක් සිදු කර නොමැති බව අවධාරණය කළේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතුවලට බාධා සිදුවීම වැළැක්වීම සඳහා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.