criminal-action-for-violence-against-pickme-and-uber-drivers

"PickMe" සහ "Uber" ඇතුළු නවීන රයිඩ්-හේලින් සේවා හා සාම්ප්‍රදායික ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් අතර පවතින ආරවුල් සඳහා රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.




මෙම අදහස් පළ වන්නේ, 2025 දෙසැම්බර් මාසයේදී ඇල්ල ප්‍රදේශයේදී "PickMe" ලියාපදිංචි රියදුරෙකු සහ ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ හා ගැටුම් හටගෙන, පොදු සාමය කඩවීමේ සිදුවීම් වාර්තා වීමෙන් අනතුරුවයි.

ඒ අනුව, ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගම් නියෝජිතයන් මෙන්ම "PickMe" සහ "Uber" ඇතුළු රයිඩ්-හේලින් සේවා සපයන සමාගම්වල නිලධාරීන්වද පොලිස් මූලස්ථානයට කැඳවා සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.




ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානතම වගකීම පොදු සාමය පවත්වාගෙන යාම බව මෙහිදී අවධාරණය කළ පොලිස්පතිවරයා, ආයතනික හෝ වෘත්තීය සමිති ආරවුල් නොතකා ප්‍රචණ්ඩත්වය, තර්ජනය කිරීම් හෝ බිය ගැන්වීම් වැනි අපරාධ ක්‍රියා සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට අවවාද කළේය.