වෙනිසියුලාවේ පාලන බලය සම්පූර්ණයෙන්ම ඇමරිකානු ඍජු අධීක්ෂණය යටතට ගෙන ඇති අතර, එම පාලනය ඉදිරි මාස කිහිපය තුළ පමණක් නොව වසර ගණනාවක් පුරා පවතිනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමඟ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය කළේය.
වෙනිසියුලාව සතු දැවැන්ත තෙල් සංචිතවලින් තෙල් නිස්සාරණය කරමින් ලෝක වෙළඳපොළට නිකුත් කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වන බවත්, 1976 දී වෙනිසියුලාව විසින් තෙල් කර්මාන්තය ජනසතු කිරීමේදී ඇමරිකානු සමාගම්වලට අහිමි වූ සම්පත් නැවත ලබා ගැනීමක් ලෙස මෙය සැලකිය හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.ඇමරිකානු පාලනය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි මාධ්‍යවේදීන් විමසූ විට, "කාලය විසින්ම එය තීරණය කරනු ඇත" (Only time will tell) යනුවෙන් ට්‍රම්ප් සඳහන් කළ අතර, රටේ අක්වෙරළ සීමාවට ආසන්නව ඇමරිකානු යුධ නැව් සමූහයක් ස්ථානගත කර ඇති පසුබිමක මෙම ප්‍රකාශය ඉතා තීරණාත්මක එකක් ලෙස සැලකේ.තමන් වෙනිසියුලාව ඉතා ලාභදායී ලෙස නැවත ගොඩනැගීමට බලාපොරොත්තු වන බව පැවසූ ට්‍රම්ප්, "අප තෙල් භාවිතා කිරීමටත්, තෙල් ලබා ගැනීමටත් සූදානම්. අපි තෙල් මිල පහත හෙළන අතර වෙනිසියුලාවට දැඩි ලෙස අවශ්‍යව ඇති මුදල් ද ඔවුන්ට ලබා දෙන්නෙමු" යනුවෙන් සඳහන් කළේය. මෙම සාකච්ඡාව පැවැත්වීමට පැය කිහිපයකට පෙර ඇමරිකානු පරිපාලන නිලධාරීන් හෙළි කර තිබුණේ වෙනිසියුලාවේ තෙල් විකිණීමේ අයිතිය දින නියමයක් නොමැතිව ඇමරිකාව සතු කර ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක බවයි. රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් කොංග්රස් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අදියර තුනකින් යුත් සැලසුමක කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, ඩිමොක්රටික් පක්ෂ මන්ත්‍රීවරුන් අනතුරු අඟවා ඇත්තේ පැහැදිලි නීතිමය බලයක් නොමැතිව ඇමරිකාව දීර්ඝ කාලීන ජාත්‍යන්තර මැදිහත්වීමකට යොමු වෙමින් සිටින බවයි.
ජනාධිපති ට්‍රම්ප් සමඟ පැය දෙකකට ආසන්න කාලයක් පුරා පැවති මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු වෙනිසියුලාවේ අනාගත දේශපාලන අධිකාරිය පිළිබඳව ද අදහස් දැක්වීය. විශේෂයෙන්ම 2024 මැතිවරණය ජයගත් සහ නොබෙල් සාම ත්‍යාගය දිනාගත් විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ හෝ ඇයගේ නියෝජිත එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් වෙනුවට, නිකොලස් මදුරෝගේ හිටපු උප ජනාධිපතිනිය වූ ඩෙල්සි රොඩ්රිගස් නව නායිකාව ලෙස පිළිගත්තේ මන්දැයි ට්‍රම්ප් සෘජුව පැහැදිලි නොකළේය. එහෙත් මදුරෝගේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් මේ වන විට ඇමරිකාවට පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔහු සඳහන් කළේය. "අපට අවශ්‍ය යැයි හැඟෙන ඕනෑම දෙයක් ඔවුන් අපට ලබා දෙමින් සිටිනවා" යනුවෙන් පැවසූ ට්‍රම්ප්, ඔවුන් ඇමරිකාවට යටත්වී ඇති බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා නිරන්තරයෙන් ඩෙල්සි රොඩ්රිගස් සමඟ සාකච්ඡා කරන බව තහවුරු කළේය.
පසුගිය ජනවාරි 2 වන දින ක්‍රියාත්මක වූ 'ඔපරේෂන් ඇබ්සොලියුට් රිසෝල්ව්' (Operation Absolute Resolve) නම් හමුදා මෙහෙයුම සහ එහි සාර්ථකත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා මහත් අභිමානයෙන් යුතුව කරුණු දැක්වීය. හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමට සමත් වූ මෙම මෙහෙයුම කෙන්ටකි ප්‍රාන්තයේ හමුදා කඳවුරක ඉදි කරන ලද මදුරෝගේ නිවසේ අනුරුවක් යොදා ගනිමින් පුහුණුවීම් සිදු කර තිබේ. මෙම හමුදා ක්‍රියාමාර්ගය අතරතුර වෙනිසියුලානු සහ කියුබානු ජාතිකයින් 70 දෙනෙකු පමණ මියගොස් ඇති නමුත්, 1980 ඉරාන ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම හෝ මෑතකාලීන ඇෆ්ගනිස්ථාන ඉවත් වීම වැනි අසාර්ථක සිදුවීම් මෙන් නොව මෙය ඉතා සැලසුම් සහගතව සහ සාර්ථකව නිම කළ මෙහෙයුමක් බව ට්‍රම්ප් අවධාරණය කළේය. "ඔබ දන්නවා, හෙලිකොප්ටර් යානා කඩා වැටුණු ජිමී කාටර් ව්‍යසනයක් මෙහි සිදු වුණේ නැහැ. ඒ වගේම සරලම මෙහෙයුමක්වත් කරගන්න බැරි වුණු බයිඩන්ගේ ඇෆ්ගනිස්ථාන ව්‍යසනය වගේ දෙයක් මෙතන වුණෙත් නැහැ" යනුවෙන් ඔහු පැවසීය.
මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ දුරකථනයෙන් ට්‍රම්ප් ඇමතීමයි. මීට දින කිහිපයකට පෙර කොලොම්බියාව මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන බවට චෝදනා කරමින් ට්‍රම්ප් එරටට තර්ජනය කර තිබුණි. කෙසේ වෙතත්, මෙම දුරකථන සංවාදය මගින් දෙරට අතර පැවති ආතතිය සමනය වූ බව පෙනී ගිය අතර, ග්‍රාමීය කොකේන් නිෂ්පාදනාගාරවල තත්ත්වය පැහැදිලි කිරීමට පෙට්රෝ ගත් උත්සාහය අගය කළ ට්‍රම්ප් ඔහුට වොෂින්ටනයට පැමිණෙන ලෙස ආරාධනා කළේය. මදුරෝ පාලනය බිඳ දැමීම කලාපයේ අනෙක් නායකයින් ද ඇමරිකානු අණට කීකරු කරවීමට හේතු වී ඇති බව ට්‍රම්ප් විශ්වාස කරයි.
වෙනිසියුලාවෙන් බොරතෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කළද, එරට පවතින අස්ථාවරත්වය සහ අනාගත දේශපාලන වෙනස්කම් හේතුවෙන් ආයෝජනය කිරීමට ඇමරිකානු තෙල් සමාගම් දැඩි විමසිල්ලකින් පසුවන බව ද සඳහන් වේ. තෙල් ක්ෂේත්රය යථා තත්ත්වයට පත් කිරීමට වසර ගණනාවක් ගත වනු ඇතැයි පිළිගත් ට්‍රම්ප්, "තෙල් සඳහා යම් කාලයක් ගතවනු ඇත" යනුවෙන් ප්‍රකාශ කළේය. වෙනිසියුලාවේ මැතිවරණයක් පවත්වන දිනයක් හෝ ඇමරිකානු හමුදා කොපමණ කාලයක් එහි රැඳී සිටිනවාද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබා දීම ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. රුසියානු සහ චීන හමුදා නිලධාරීන් ඉවත් කිරීමට වෙනිසියුලාව අපොහොසත් වුවහොත් ඇමරිකානු හමුදා යොදවන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, "මට ඒක කියන්න බැහැ. ඇත්තටම මම කැමති නෑ ඒක ඔබට කියන්න. නමුත් ඔවුන් අපට ඉතා ගෞරවයෙන් සලකනවා" යනුවෙනි.
මදුරෝගේ පාලනය බිඳ දැමීම මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට සහ කලාපීය ස්ථාවරත්වය ඇති කිරීමට ගත් අත්‍යවශ්‍ය පියවරක් ලෙස හඳුන්වා දුන් ට්‍රම්ප්, තමන් අනාගතයේදී වෙනිසියුලාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය. "මම හිතනවා යම් අවස්ථාවක දී එරට ආරක්ෂිත තත්ත්වයකට පත් වේවි කියා" යනුවෙන් ඔහු අවසන් වශයෙන් සඳහන් කළේය.