the-third-place-of-the-mrs-world-competition-goes-to-sabina-from-sri-lanka

ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරදී පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින (Mrs. World) අවසන් මහා තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසුෆ් දෙවන අනුශූරතාව දිනා ගනිමින් මව්බිමට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීමට සමත් වූවාය.




ජනවාරි 29 වන දින අති උත්කර්ෂවත් අයුරින් පැවති මෙම තරඟාවලියේදී ඇය හොඳම තරඟකාරියන් 20 දෙනා අතරට (Top 20) තේරී පත් වූ අතර, අතුරු තරඟ අංශයක් වූ 'මිසිස් ෆොටෝජෙනික්' (Mrs. Photogenic) හෙවත් ඡායාරූපයට වඩාත් උචිත රූ රැජිනට හිමි සම්මානය ද දිනා ගැනීම විශේෂත්වයකි.

මෙම තරඟාවලියේ ජයග්‍රාහී කිරුළ හෙවත් 2025 ලෝක විවාහක රූ රැජින සම්මානය තායිලන්තයේ චනිතා සීඩකෙට් ක්‍රේතෝන් (Chanita Seedaket Craythorne) විසින් දිනා ගනු ලැබුවාය. එහි ප්‍රථම අනුශූරිය ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පේජ් යුවින් (Paige Ewing) තේරී පත් වූ අතර, රටවල් 60කට අධික සංඛ්‍යාවක තරඟකාරියන් මෙම කිරුළ සඳහා තරඟ වැදුණි.




ලෝක විවාහක රූ රැජින තරඟ ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇති අතර, 1984 වසරේදී මෙම තරඟාවලිය ආරම්භ වූ අවස්ථාවේදී එහි ප්‍රථම ජයග්‍රාහිකාව බවට පත් වූයේ රෝසි සේනානායක මහත්මියයි. මෙවර සබීනා යූසුෆ් දිරිගැන්වීම සඳහා රෝසි සේනානායක මහත්මිය ද ලාස් වේගාස් හි මෙම අවස්ථාවට සහභාගී වී සිටියාය.

ශ්‍රී ලංකාව සතු මෙම අභිමානවත් ඉතිහාසයට තවත් ජයග්‍රහණ එක් කරමින් 2020 වසරේදී කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳූ නමුත් පසුව එය භාරදෙන්නට සිදු විය, 1999 වසරේදී ශිවානි වාසගම් වෙදනායගම් සිව්වන අනුශූරතාව දිනා ගත්තාය. එමෙන්ම පසුගිය වසරේ පැවති තරඟාවලියේදී ඉෂාඩි අමන්දා ප්‍රථම අනුශූරිය ලෙස තේරී පත්වීමත් සමඟ ජාත්‍යන්තර රූ රැජින වේදිකාවේ ශ්‍රී ලංකාවේ නාමය අඛණ්ඩව ඉහළින් රැඳී පවතී.

gossiplanka image


gossiplanka collage