ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අබ්දුල්ලා අල්මුතයිරි මහතා දෙපාර්ශවයේම එකඟතාව මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර එම පුරප්පාඩුව පියවීම සඳහා ඔහුට යළිත් නව කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානම් වෙයි. කුසලතා පූර්ණ මෙම කුවේට් ජාතික පුහුණුකරු සිය සේවා කාලය නිල වශයෙන් අවසන් කළ බව පසුගිය සිකුරාදා සමාජ මාධ්‍ය සටහනක් තබමින් තහවුරු කර තිබූ නමුත්, ඔහු යළිත් මෙරට පාපන්දු ක්‍රීඩාව සමඟ සම්බන්ධ කර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා දැඩි විශ්වාසයකින් පසුවේ.
ඇන්ඩි මොරිසන්ගේ නික්ම යාමෙන් පසුව වසර දෙකකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වූ අල්මුතයිරි මෙතෙක් සම්පූර්ණ කර ඇත්තේ ඔහුගේ කොන්ත්‍රාත්තුවේ පළමු අදියර පමණක් බවත්, ඉදිරියේදී පැවැත්වෙන නිල සාකච්ඡාවලින් අනතුරුව නව කොන්දේසි යටතේ ඔහුව යළි කොළඹට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.2027 ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ලබන මාර්තු 31 වැනිදා චීන තායිපේ රාජ්‍යයට එරෙහිව තායිපේහිදී පැවැත්වෙන තීරණාත්මක තරගයේදී ද අල්මුතයිරි මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයවීම් කටයුතු සිදු කරනු ඇතැයි පාපන්දු බලධාරීන් අපේක්ෂා කරන අතර ඔහු නැවත පැමිණීම ප්‍රතික්ෂේප කළහොත් අනුගමනය කළ යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. මීට පෙර නේපාල කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ 44 හැවිරිදි අල්මුතයිරි මහතා සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟ පැවති ගිවිසුම අන්‍යෝන්‍ය අවබෝධය මත අවසන් කළ බවත්, මෙම ගමනේදී තමන්ට සහාය වූ සියලු දෙනාට ස්තූතිය පිරිනමන බවත්ය. ශ්‍රී ලංකාවේ පාපන්දු ප්‍රේක්ෂකයින් පෙන්වූ නොසැලෙන සහයෝගය මෙන්ම ක්‍රීඩකයින් තුළ පැවති විනය, කැපවීම සහ සටන්කාමීත්වය තමන්ගේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වූ බව ඔහු සිය සමුගැනීමේ පණිවුඩයේ අවධාරණය කර තිබුණි.
පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා තමන් කෙරෙහි තැබූ විශ්වාසය සහ ලබා දුන් අඛණ්ඩ සහයෝගය හේතුවෙන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 207 වැනි ස්ථානයේ සිට 193 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවට හැකි වූ බව අල්මුතයිරි මහතා කෘතවේදීව සිහිපත් කළේය. ඔහුගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තාක්ෂණික මෙන්ම මානසික අතින් ද ජාත්‍යන්තර තලයේ විශාල ප්‍රගතියක් අත්කර ගත් අතර දකුණු ආසියානු කලාපයේ ප්‍රබල කණ්ඩායම්වලට අභියෝගයක් විය හැකි මට්ටමට ශ්‍රී ලංකා පාපන්දුව ඔසවා තැබීමට ඔහුට හැකි විය. ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව සහ උපක්‍රමශීලී විනය ඉහළ නැංවීමට කටයුතු කළ අල්මුතයිරි මහතාගේ සේවා කාලය තුළ ලැබූ ඉහළම ජයග්‍රහණය වන්නේ 2027 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමයි.
මීට අමතරව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී කොළඹදී පැවති තරගයකදී ප්‍රබල ටර්ක්මෙනිස්ථාන කණ්ඩායම පළමු වතාවට පරාජය කරමින් ගෝල 1-0ක ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ද ශ්‍රී ලංකාව සමත් වූයේ ඔහුගේ උපායමාර්ගික මෙහෙයවීම යටතේය. ශ්‍රී ලංකාව තුළ තමන් ගත කළ වසර දෙකක කාලය අමතක නොවන මතකයන්ගෙන් පිරි එකක් බව පවසන අල්මුතයිරි, මෙරට පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි ගමනට සුබ පතමින් තාවකාලිකව සමුගෙන ඇත. පාපන්දු විචාරකයින් පවසන පරිදි, අල්මුතයිරිගේ නික්ම යාම විශාල පාඩුවක් වුවද, ඔහු විසින් පසුගිය මාස 24 තුළ මෙරට ජාතික කණ්ඩායම වෙනුවෙන් සකස් කළ ශක්තිමත් පදනම ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පාපන්දුවේ වර්ධනයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.