harini_parliament

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතුවූ ගැටලුකාරී තත්ත්වය හඳුනාගත් වහාම එය බෙදා හැරීම අත්හිටුවීමට පියවර ගත් බවත්, එම මොඩියුලය සිසුන් අතට පත් නොවූ බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.




අදාළ දෝෂය නිවැරදි කර ගත් වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, එම විමර්ශන වාර්තා ලැබුණු වහාම වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කළාය.

යම් හෙයකින් නියමිත කාර්ය පටිපාටියෙන් බැහැරව යම් ක්‍රියාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව මෙන්ම ඊට වගකිවයුතු පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා බලන බව ඇය ප්‍රකාශ කළ අතර, මෙම සිදුවීම පදනම් කරගෙන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ද ඉල්ලීමක් කළාය.




6 ශ්‍රේණියේ දරුවන් සඳහා වන ඉංග්‍රීසි පෙළපොත එළඹෙන ජනවාරි 21 වන දිනත්, පළමු වසරේ දරුවන් සඳහා වන ඉංග්‍රීසි පෙළපොත ජනවාරි 29 වන දිනත් ලබා දීමට නියමිත බැවින් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස දෙමාපියන්ගෙන් සහ දරුවන්ගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ජාතික අධ්‍යාපන ආයතනය වෙනම පනතකින් ස්ථාපිත ආයතනයක් බැවින් එහි නීති රීතිවලට අනුකූලව කටයුතු කළ යුතු බවත්, විනය බලතල පවතින්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සතුව බවත් ඇය පෙන්වා දුන්නාය. එබැවින් තීරණ ගනු ලබන්නේ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව ද ඇය සඳහන් කළාය.



මෙම විමර්ශනයේ විනිවිදභාවය පිළිබඳව කිසිවෙකුත් සැකයක් ඇති කර ගත යුතු නැති බවත්, මේ සම්බන්ධයෙන් සැඟවීමට කිසිවක් නොමැති බවත් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරිය, සත්‍යය හෙළි කර ගැනීම සහ දෝෂය සිදු වූයේ කෙසේද යන්න සොයා බැලීම තම අරමුණ බවත් විමර්ශන ප්‍රතිඵල ලැබුණු වහාම එය හෙළි කර වරදකරුවන්ට එරෙහිව පියවර ගන්නා බවත් වැඩිදුරටත් කියා සිටියාය.