harini-amarasuriya-no-confidence-motion

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමස්ත විපක්ෂයම ඒකමතිකව තීරණය කර ඇත. මෙම තීරණය පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවැති විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී ගනු ලැබූවක් වන අතර, ඊට අදාළ මන්ත්‍රී අත්සන් එකතු කිරීම අද (07දා) ආරම්භ කිරීමට නියමිතය.




අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු සිදුකිරීමේදී අමාත්‍යවරිය අත්තනෝමතිකව හා අවබෝධයකින් තොරව ක්‍රියා කරන බවට විපක්ෂය චෝදනා නගයි. විශේෂයෙන්ම, 06 ශ්‍රේණියේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය මෙම විශ්වාසභංග යෝජනාවට ප්‍රධානතම හේතුව ලෙස නම් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට වන මූලික යෝජනාව ඉකුත් 05 වැනිදා පැවති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත් වූ අතර, අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමකදී එය තහවුරු විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසන පරිදි, විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ ද මෙම යෝජනාවට සිය එකඟතාව පළ කර ඇත. මේ අනුව, අද දිනයේ සිට අදාළ ලියකියවිලි සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම වේගවත් කිරීමට නියමිත අතර, විශ්වාසභංග යෝජනාව මෙම සතිය තුළ කථානායකවරයා වෙත නිල වශයෙන් භාර දීමට විපක්ෂය සිය කටයුතු සූදානම් කර ඇත.