දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ නායයාමකින් අතුරුදන් වූ තරුණයකුගේ මළසිරුරක් මාස දෙකකට පසු සොයාගත් බව කැප්පෙටිපොල පොලිසිය පවසයි.
පස් කඳු කඩා වැටී තිබූ කැප්පෙටිපොල ගවරම්මාන ප්‍රදේශයේ පස් ඉවත් කරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසකට මෙම මළසිරුර හමුව ඇති අතර මරණකරු මිරහවත්ත වැරැල්ලවත්තේ පදිංචි ආර්.එම්. අසිත කෝසල නමැති 30 හැවිරිදි අයකු බවට හඳුනාගෙන තිබේ.
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ නායයාම් අතරින් කැප්පෙටිපොල ගවරම්මාන ප්‍රදේශයේ නායගිය පස් ඉවත් කරමින් සිටියදී ලොරි රියැදුරකු එම ස්ථානයේ යළි සිදුවූ නායයාමකින් පස්වලට යටවී තිබුණේ පසුගිය නොවැම්බර් 27 වැනිදාය.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ස්ථානයේ රථවාහන ධාවනයට පමණක් සුදුසු පරිදි පස් ඉවත් කළ අතර අතුරුදන් පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත් මේ වන විට පවතින යහපත් කාලගුණ තත්ත්වය නිසා වැලිමඩ - නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොල සිට බැලුන්ගල දක්වා මාර්ගයට තැනින් තැන වැටී ඇති පස් ඉවත් කිරීම මාර්ග සංවර්ධන අධීකාරිය මගින් මේ වන විට සිදු කරන අතර එලෙස ගවරම්මාන ප්‍රදේශයේ පස් ඉවත් කරමින් සිටියදී මෙලෙස අදාළ පුද්ගලයාගේයැයි සැක කරන සිරුර හමුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති.