ranil-sitting-in-the-dock-today---accused-of-cheating-the-court-by-staying-in-the-hospital-without-permission

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින විමර්ශන කටයුතු මාසයක් ඇතුළත අවසන් කර නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශ කර සිටියේය.




කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළ අතර, විමර්ශන කටයුතුවලින් මේ වන විට සියයට අනූවක්ම අවසන් කර ඇති බවද හෙතෙම අධිකරණයට පැහැදිලි කළේය.

මෙම නඩු විභාගය අතරතුර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන්ද විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත් වූ අතර, ඔහු එළඹෙන පෙබරවාරි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.




නඩු කටයුතු ආරම්භයේදීම විමර්ශන නිලධාරීන් වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට පැමිණ සිටින්නේ දැයි විමසා සිටි අතර, ඒ මොහොතේ ඔහු විත්ති කූඩුවේ අසුන්ගෙන සිටින බව විත්තියේ නීතිඥවරු ප්‍රකාශ කළහ.

ඊට එරෙහිව කරුණු දැක්වූ දිලීප පීරිස් මහතා, සැකකරුවකු අධිකරණයේ අසුන් ගැනීමට පෙර ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බව අවධාරණය කළ අතර, මහේස්ත්‍රාත්වරයා ද එම ස්ථාවරය අනුමත කරමින් කියා සිටියේ අධිකරණයේ අසුන් ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවයි.



රනිල් වික්‍රමසිංහ මහතාට මීට පෙර ඇප ලබා දුන් අවස්ථාවේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන්ද පැමිණිල්ල දැඩි විවේචනයක් එල්ල කළ අතර, හෘදයාබාධ තත්ත්වයක් පවසමින් ඇප ලබාගෙන ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටිමින් පොත් කියවීමින් විවෙක ගැනීම හරහා මහජන දේපළ අවභාවිතයක් සිදුව ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම නඩුකරයට පාදක වී ඇති විදේශ සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, හිටපු තානාපති සරෝජා සිරිසේන මහත්මිය ඇතුළු 13 දෙනෙකුගේ සාක්ෂි අනුව මෙය පෞද්ගලික සංචාරයක් බව තහවුරු වී ඇති බව අධිකරණයට හෙළි විය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, බැලූ බැල්මටම මෙය පෞද්ගලික සංචාරයක් බව පෙනී යන බව ප්‍රකාශ කළත්, සැකකරුට ලැබුණා යැයි කියන වුල්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ආරාධනා පත්‍රයේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස නියෝග කළේය.

විත්තියේ නීතිඥවරුන් මෙම සංචාරය නිල සංචාරයක් බව ඔප්පු කිරීමට උත්සාහ කළද, බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනයක් හෝ මැදිහත්වීමක් ඒ සඳහා නොතිබූ බවත්, අදාළ විශ්ව විද්‍යාලය පෞද්ගලික ආයතනයක් බවත් පැමිණිල්ල මගින් තහවුරු කරන ලදී.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, ඔහු ලේඛනවල තිබූ "පෞද්ගලික" (Private) යන වචනය ඉවත් කර "නිල" (Official) යන වචනය ඇතුළත් කරමින් වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කළේය.

කෙසේ වෙතත්, සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමක් කළද, රුපියල් මිලියන 16කට අධික රජයේ මුදල් අනුමත කිරීමේදී ඔහු වගකිවයුතු නිලධාරියකු ලෙස නිසි පරීක්ෂාකාරී බවක් දක්වා නැති බැවින්, පොදු දේපළ පනත යටතේ ඔහුට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පවරන ලෙස තමා නීතිපතිවරයාට යෝජනා කළ බව දිලීප පීරිස් මහතා සඳහන් කළ අතර, රනිල් වික්‍රමසිංහ මහතාට ලබන අප්‍රේල් මස 29 වනදා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියම විය.

නඩු විභාගය අතරතුර දෙපාර්ශවයේ නීතිඥවරුන් අතර කිහිප වරක්ම උණුසුම් වචන හුවමාරු වූ අතර, බන්ධනාගාරය තුළදී සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙමින් අධිකරණ කටයුතු අවසන් විය.

gossiplanka image