raju-bandara-bids-farewell-writing-a-page-in-the-book-of-heart-songs

ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. පසුගිය වසරේ වකුගඩු ආශ්‍රිත සැත්කමකට ලක්ව රෝගී තත්වයෙන් සිටි ඔහුගේ අභාවය රාගම පිහිටි නිවසේදී සිදුව ඇති අතර මියයන විට ඔහු 65 වන වියේ පසුවිය.




වර්ෂ 1960ක් වූ අප්‍රේල් මස 14 වන දින කෑගල්ලේදී උපත ලැබූ රාජු බණ්ඩාර මහතා මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රකට පවුල් පසුබිමකින් පැවත එන්නෙකි. ප්‍රවීණ ගායිකා චන්ද්‍රා බණ්ඩාර මහත්මියගේ පුතනුවන් වන ඔහු, ජනප්‍රිය සංගීතඥ මහින්ද බණ්ඩාර මහතාගේ ආදරණීය සොහොයුරා ද වේ. කෑගලු මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අවධියේදීම ‘Dark Shadows’ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයෙකු ලෙස කලා ලොවට පිවිසි ඔහු, පසුකාලීනව සිය මාමා වන ප්‍රේමනාත් කොඩිතුවක්කු මහතාගේ ආභාෂය ද ඇතිව සංගීතය ස්වකීය ජීවිතය කර ගත්තේය.

පාසල් අධ්‍යාපනයෙන් පසු රූකාන්ත ගුණතිලක මහතා සමඟ එක්ව ‘නයග්‍රා’ (Nayagra) නම් බටහිර සංගීත කණ්ඩායම නිර්මාණය කරමින් කුරුණෑගල සහ හබරණ ප්‍රදේශවල හෝටල් ක්ෂේත්‍රයේ සංගීතය සැපයූ රාජු බණ්ඩාර මහතා, පසුව ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ‘මාධාරා’ සංගීත කණ්ඩායමට එක්ව එංගලන්තය සහ ප්‍රංශය වැනි රටවල සංචාරය කළේය. ස්ටැන්ලි පීරිස් මහතාගේ ඇරයුමින් ප්‍රකට ‘පෝචූන්ස්’ (Fortunes) කණ්ඩායමට එක්ව කීර්ති පැස්කුවල් මහතා සමඟ එක්ව කටයුතු කිරීම ඔහුගේ සංගීත දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය.




කණ්ඩායම් සංගීතයෙන් ඔබ්බට යමින් ඒ මහතා ඒක පුද්ගල ගායන ශිල්පියෙකු ලෙස ස්ථාවර වන්නේ 1993 වසරේදී නිකුත් කළ ‘මං ආදරේ රන් සීනු’ ඇල්බමය හරහාය. ‘මා ආදරෙයි මුළු ලොවටත් වඩා’, ‘ඔය රූ සෝබා’, ‘රන් සීනු නාද දී’, ‘හද වේදනාව’, ‘කවුදෝ මගේ ලොවේ’ සහ ‘රෝස මල් කුමාරි’ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් මෙරට රසිකයන්ට දායාද කිරීමට ඔහු සමත් විය. එමෙන්ම තම මව සමඟ ඔහු ගායනා කළ ‘හද ගී පොතේ පිටුවක් ඉරා’ ගීතය ද රසිකයන් අතර ඉමහත් ආදරයට පාත්‍ර විය.

ගායනයට හා වාදනයට පමණක් සීමා නොවූ රාජු බණ්ඩාර මහතා රංගන ක්ෂේත්‍රයේ ද තම කුසලතා විදහා දැක්වීය. ‘දිය කැට පහණ’ ටෙලි නාට්‍යයේ ඔහු ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් හොඳම නැඟී එන නළුවා ලෙස නිර්දේශ වීමට ද ඔහු භාග්‍යවන්ත විය. මෑත කාලීනව දෙරණ රූපවාහිනියේ විකාශය වූ සංගීත වැඩසටහන් රැසකට සහභාගී වූ ඔහු 2024 වසරේදී ‘දන්නවද ඔයා’ නමින් නවතම ගීත ඇල්බමයක් ද නිකුත් කරමින් අවසන් කාලය දක්වාම සංගීතය තුළ සක්‍රීයව රැඳී සිටි කලාකරුවෙකි.