wind-power-adds-20mw-to-the-national-electricity-grid-only-the-presidential-title-on-the-board-the-ceremony-is-short

CEYLEX Renewables ආයතනය විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවොට් 20ක සමස්ත ධාරිතාවකින් යුත් 'මන්නාරම වින්ඩ්ස්කේප්' (WINDSCAPE MANNAR) සුළං විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ උත්සවය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. පුනර්ජනනීය බලශක්තියෙන් රට බලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා විදුලිබල ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ, රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5ක (5 MW) අධි ධාරිතාවකින් යුතු ටර්බයින භාවිතයෙන් නිමකළ මෙරට ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය මෙය වන බැවිනි.




පූර්ණ දේශීය සමාගමක් ලෙස ක්‍රියාත්මක CEYLEX Renewables ආයතනය මගින් මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත මෙම බලාගාරය සතුව ටර්බයින 04ක් පවතින අතර එක ටර්බයිනයක ධාරිතාව මෙගාවොට් 4.8ක් පමණ වේ. මීටර් 110ක හබ් උසකින් (Hub Height) යුතු මෙම ටර්බයින පද්ධතිය ස්ථාපනය කර ඇත්තේ ව්‍යාපෘති 04ක් ලෙස ක්‍රියාත්මක වන පරිදි සමස්ත ධාරිතාව මෙගාවොට් 20ක් ජාතික පද්ධතියට ලබාදීමේ අරමුණ ඇතිවය. 2019 වසරේ ආරම්භ වූ CEYLEX ආයතනය ජල, සූර්ය සහ සුළං යන ත්‍රිවිධ අංශයන් ආවරණය වන පරිදි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රැසක් සාර්ථකව නිම කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ද ඔවුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා (Turnkey solutions) සිදු කර ඇත.

මෙම ව්‍යාපෘතිය 'ඉදිකිරීම, අයිතිය දැරීම සහ මෙහෙයුම් සිදුකිරීම' හෙවත් BOO (Build-Own-Operate) ආකෘතිය යටතේ ක්‍රියාත්මක වන අතර පූර්ව එකඟතාවකට පැමිණි ඒකක මිලක් යටතේ උත්පාදනය කරන විදුලිය අලෙවි කිරීම සිදු කෙරේ. නවීනතම තාක්ෂණය භාවිත කරමින් ඉදි කර ඇති මෙම බලාගාරය දුරස්ථව පිහිටි මධ්‍යගත පාලන මැදිරියක් මගින් මිනිස් ශ්‍රමයකින් තොරව පූර්ණ වශයෙන් පාලනය කිරීමට හැකි වීම විශේෂත්වයකි. උප කොන්ත්‍රාත්කරුවන් මත යැපීමකින් තොරව ව්‍යාපෘතියේ තනි වගකීම අදාළ සමාගම විසින්ම දරනු ලබන බැවින් අනවශ්‍ය අතරමැදි පිරිවැයන් ඉවත් කර තරගකාරී මිල ගණන් යටතේ පාරිභෝගිකයාට ඉහළ වටිනාකමක් ලබාදීමට හැකි වී ඇති බව එම සමාගම පෙන්වා දෙයි. 

අද පැවති උත්සවය ඉතා කෙටි එකක් වූ අතරම ජනපති බලා සිටියදී සමාගමේ හිමිකරු ජනපතිගේ නම නොව තනතුර පමණක් සටහන් කළ සමරු ඵලකයක් විවෘත කිරීම විශේෂිතය.

news-2026-01-15-134451

news-2026-01-15-134451

news-2026-01-15-134451



news-2026-01-15-134451

news-2026-01-15-134451

news-2026-01-15-134451

news-2026-01-15-134451



news-2026-01-15-134451

news-2026-01-15-134451