prime-minister-must-resign-immediately-namal-orders

මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව හමුවේ හුදෙක් අමාත්‍යාංශ නිලධාරියෙකු ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවන බවත්, මැතිවරණ වේදිකාවේදී ජනතාවට පොරොන්දු වූ දියුණු දේශපාලන සංස්කෘතිය ප්‍රායෝගිකව පෙන්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අදාළ ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.




මෙම සිද්ධියට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා ධූරයෙන් ඉවත් වී ඇතත්, එම තනතුර සඳහා පත් කිරීම් සිදු කරනු ලැබුවේ අග්‍රාමාත්‍යවරිය විසින් බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය භාරව කටයුතු කරන්නේ ද ඇය බැවින් සදාචාරාත්මක වගකීම භාර ගනිමින් ඉල්ලා අස්විය යුත්තේ අග්‍රාමාත්‍යවරිය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බාහිර පාර්ශ්වයකට රිසි සේ පොතක් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මෙම ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම විහිළුවක් ලෙස තමන් දකින බව ද සඳහන් කළේය.




අමාත්‍යාංශ ලේකම්වරයා නොමඟ යැවීම කිසිවෙකුට හෝ කළ නොහැකි බවත්, එක් පුද්ගලයෙකුට පමණක් මෙවැනි විෂය ක්ෂේත්‍රයක තීරණ තනිව ගත නොහැකි බවත් පවසන හෙතෙම, මෙවැනි තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ විෂය භාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඒ පිළිබඳ අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටින බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.