players-boycott-delay-bpl-matches-amid-controversy

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය කමිටු සභාපති නජ්මුල් ඉස්ලාම් මහතාගේ ඉල්ලා අස්වීම බලකරමින් එරට ක්‍රීඩකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. අදාළ සභාපතිවරයාගේ ප්‍රකාශයක් මගින් තමන් දැඩි අවමානයට ලක්වූ බව පවසන ක්‍රීඩකයින්, ඔහු එම ධුරයෙන් ඉවත් නොවුණහොත් තරග වර්ජනය කරන බවට දැඩි ස්ථාවරයක සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අද දින පැවැත්වීමට නියමිතව තිබූ තරගය සඳහා කිසිදු කණ්ඩායමක් ක්‍රීඩාංගණයට වාර්තා නොකිරීම විශේෂ සිදුවීමක් විය.




නොතාලි එක්ස්ප්‍රස් (Noakhali Express) සහ චැටෝග්‍රම් රෝයල්ස් (Chattogram Royals) අතර තරගය අද (15) පස්වරු 1.00 ට ෂේර්-ඊ-බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබුණද, නියමිත වේලාවට පැය කිහිපයකට පෙරත් කණ්ඩායම් දෙකම ක්‍රීඩාංගණයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබුණි. බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුබසාධක සංගමය (CWAB) විසින් ජනවාරි 14 වැනිදා නිවේදනය කර තිබුණේ මූල්‍ය කමිටු සභාපතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ක්‍රීඩකයින් මෙම තරගයට සහභාගී නොවන බවයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සහ ක්‍රීඩක නියෝජිතයින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ, ක්‍රීඩක සංගමය විසින් අගනුවර හෝටලයකදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීමට කටයුතු කළ අතර, එය තරගය ආරම්භ වීමට නියමිතව තිබූ වේලාවේදීම පැවැත්වීම කැපී පෙනුණි. මේ අතර, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) නිවේදනයක් නිකුත් කරමින් අදාළ නිලධාරියාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව පළ කර ඇති අතර, ඔහුට එරෙහිව විනය පියවර ගැනීම ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා නිදහසට කරුණු දැක්වීමට පැය 48 ක කාලයක් ලබා දී ඇති බවත් සඳහන් කර ඇත.




ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ BPL තරගාවලිය මේ වන විට එහි අවසන් අදියරට ළඟා වී ඇති බැවින්, තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් ක්‍රීඩකයින් සිය වෘත්තීයභාවය පෙන්නුම් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ක්‍රීඩක සංගමයේ මාධ්‍ය හමුවේ ප්‍රතිඵලය මත පදනම්ව අද දින තරගය ආරම්භ කිරීම පැය කිහිපයකින් ප්‍රමාද වීමට ඉඩ ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.