2.45pm
අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී තිබූ හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙන බව පසුව වාර්තා විය.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් පෙරේදා නිවසට ගියද එම අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි බව පැවසිණි. මීට ඉහත අධිකරණය ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙයි.
2 pm
පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුවකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිය මෛත්‍රී වික්‍රමසිංහ සමග මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය හෙබවූ කාලසීමාව තුළ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනය බලා යාමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා මත මෙම පැමිණිල්ල විභාගයට ගැනේ.
මෙම සිදුවීමට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට අනුව, හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මක කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ නිල සංචාරයක් අතරතුර සිදුවූ බව කියන මෙම ගමන සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇත.
සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) දිනයේ ඔහුගේ නිවස වෙත ගොස් තිබුණ ද, එම අවස්ථාවේ ඔහු නිවසේ රැඳී සිට නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි. සැකකාර ලේකම්වරයා ගැවසෙන බවට සැකකෙරෙන ස්ථාන කිහිපයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙයුම් දියත් කළ ද, මේ දක්වා ඔහු පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත්, අදාළ සැකකරු නුදුරේදීම අධිකරණය වෙත භාරවීමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.