ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා පසුගිය 26 වනදා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති මෙම නඩුවට අදාළව එක් චෝදනාවක සාක්ෂි විමසීම එදින සිදු කිරීමට නියමිතව තිබුණ ද, ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අධිකරණයේ නොසිටීම හේතුවෙන් මෙලෙස නඩු විභාගය කල් තැබීමට පියවර ගැනිණි. නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා හතක් ගොනු කර ඇති අතර, මීට පෙර අවස්ථාවක එම චෝදනා කියවා දුන් අවස්ථාවේදී ඇය තමන් නිවැරදිකාරිය බව ප්‍රකාශ කිරීම හේතුවෙන් නඩු විභාගය ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.
සැකකාරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා අතර 2014 ජනවාරි මස 20 වනදා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී අසත්‍ය තොරතුරු සැපයීම ප්‍රධාන වේ. මීට අමතරව 2016 ජූලි සිට 2017 ජූලි දක්වා ද, 2018 ජූලි සිට 2019 ජූලි දක්වා ද, 2020 ජූලි සිට නොවැම්බර් දක්වා වූ කාල සීමාවන් කිහිපයකදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට සිහිපත් කර තිබේ. දැනට ඇප මත මුදා හැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරිය නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස පැවැත්වීමට නියමිතය.