වෙනිසියුලාවේ නිකලස් මදුරෝ නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ ප්‍රථම වරට පෙනී සිටිමින් තමන් තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව අවධාරණය කළ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදි බව ප්‍රකාශ කර තිබේ. විශේෂ ඇමෙරිකානු බලකායක් විසින් දියත් කරන ලද මෙහෙයුමකදී කැරකස්හි පිහිටි සිය නිල නිවසේදී මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙනවිත් තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේදීය.
අධිකරණ විභාගය අවසානයේදී මහජනතාව අතරින් අයෙකු මදුරෝට එරෙහිව කෑගසමින් "ඔබ කළ දේට වන්දි ගෙවනු ඇතැයි" පැවසූ අවස්ථාවේදී, දැඩි ආතති සහගත වචන හුවමාරුවක් ඇති වූ අතර, එහිදී මදුරෝ පෙරළා පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් "යුද සිරකරුවෙකු" බවයි.ඔවුන් දෙපළ අධිකරණය වෙත රැගෙන එන ලද්දේ දැඩි ආරක්ෂක රැකවල් මැද, මාංචු දමා, හෙලිකොප්ටර් යානයක් මගිනි. අධිකරණ පරිශ්‍රයෙන් පිටත විරෝධතාකරුවන් රැස්ව සිටි අතර, ඇතැම් පිරිස් "ඇමෙරිකාව වෙනිසියුලාවට අත නොතබනු" යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කළ අතර, තවත් පිරිසක් "ජනාධිපති ට්‍රම්ප්ට ස්තූතියි" යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන සිටියහ. මදුරෝ මෙන්ම ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ද මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් නිවැරදි බව අධිකරණය හමුවේ කියා සිටියාය. අත්අඩංගුවට ගැනීමේදී සිලියා ෆ්ලෝරස්ගේ ඉල ඇටයකට හානි සිදුවී ඇති බවත් ඇය දැඩි ලෙස තැලීම්වලට ලක්ව ඇති බවත් ඇයගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි අතර, විනිසුරුවරයා නියෝග කළේ ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසයි.
මේ අතර, වෙනිසියුලාවේ ජාතික සභාව ඉදිරියේ එරට නව අන්තර්වාර ජනාධිපතිවරිය ලෙස ඩෙල්සි රොඩ්‍රිගස් දිවුරුම් දී තිබේ. මීට පෙර මදුරෝ යටතේ උප ජනාධිපතිවරිය ලෙස කටයුතු කළ ඇය, මෙම සිදුවීමෙන් පසු ඇමෙරිකානු රජය සහ ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වොෂින්ටනය සමඟ "සහයෝගීතා න්‍යාය පත්‍රයක්" බෙදා හදා ගැනීමට කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි. මෙම සිදුවීම් මාලාව කලාපීය දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ද ඇමෙරිකාවට කොකේන් ජාවාරම් කරන බවට ට්‍රම්ප් චෝදනා කළද පෙට්‍රෝ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
ඇමෙරිකානු මෙහෙයුම අතරතුර කියුබානු ජාතිකයන් 32 දෙදෙනෙකු මියගිය බව වාර්තා වීමත් සමඟ වෙනිසියුලාවේ සමීපතම මිතුරෙකු වන කියුබාව දින දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ජගත් ආරක්ෂක මණ්ඩලය ද රැස්වී මෙම තත්ත්වය සාකච්ඡා කළ අතර, එහිදී ඇමෙරිකානු නියෝජිතයා මෙය නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් ලෙස හැඳින්වුවද, වෙනිසියුලානු තානාපතිවරයා එය හෙළා දකිමින් ප්‍රකාශ කළේ මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවයි. මදුරෝගේ ඊළඟ නඩු විභාගය මාර්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිතය.