julie-chung-sri-lanka-experience

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ලෙස කටයුතු කළ ජුලි චන්ග් මහත්මිය සිය ධුර කාලය නිමවා දිවයිනෙන් නික්ම යාමට ප්‍රථම මෙරට දකුණු වෙරළ තීරයේ විඳගත් අපූරු අත්දැකීමක් පිළිබඳව සිය ‘X’ (ට්විටර්) ගිණුම හරහා සටහනක් තබා තිබේ. තමන් උපතින් කැලිෆෝනියානු කාන්තාවක වුවද මින් පෙර කිසිදු දිනක දිය මත ලිස්සා යාමේ (Surfing) ක්‍රීඩාවේ නිරත වී නොතිබූ බව ඇය එහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දී හමු වූ ඉවසිලිවන්ත ගුරුවරයෙකුට පින් සිදුවන්නට තමන් තුළ තිබූ බිය පසෙකලා දිය මත ලිස්සා යාමේ පුවරුවකට නැගීමට හැකි වූ බව ඇය පවසා සිටී. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මේ සඳහා ඉතාමත් සුදුසු බවත්, ඉදිරියේදී තානාපතිනියක ලෙස නොව සාමාන්‍ය සංචාරක පැමිණෙන්නියක ලෙස යළි පැමිණ එම පුහුණුවීම් කටයුතු වැඩිදියුණු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.




ඇයගේ මෙම ප්‍රකාශයත් සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වී තිබූ අතර, බොහෝ දෙනෙකු ඇයට සුබ පැතුම් එක් කර තිබුණි. ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරුතම අවස්ථාවක රට යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ඇය ලබා දුන් දායකත්වය අගය කරමින් ඇතැම් පිරිස් ස්තූතිය පළ කර තිබූ අතර, තවත් සමහරු ඇයව හඳුන්වා දී තිබුණේ මෙරට සිටි "කූල්ම" (Coolest) තානාපතිවරිය ලෙසයි. එසේම කැලිෆෝනියාවට සාපේක්ෂව සාමාන්‍ය පුද්ගලයෙකුට දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකාව වඩාත් යෝග්‍ය බව දක්වමින් ද ඇමරිකානු වැසියන් ඇතුළු පිරිසක් ප්‍රතිචාර දක්වා තිබිණි.

ජුලි චන්ග් මහත්මියගේ මෙම සටහනට යහපත් ප්‍රතිචාර මෙන්ම දැඩි දේශපාලනික හා පුද්ගලික විවේචන ද එල්ල වී තිබීම විශේෂත්වයකි. වත්මන් දේශපාලන තත්ත්වය යටතේ ඇයට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට එක් අයෙකු අනතුරු අඟවා තිබූ අතර, තවත් අයෙකු ඇයගේ නැවත පැමිණීමේ බලාපොරොත්තුව පිළිකුල් සහගත ලෙස විවේචනය කර තිබුණේ ඇයව ඉවත් නොවන 'පිළිකාවකට' සමාන කරමිනි. මේ අතර ජුලි චන්ග් මහත්මිය දිවයිනෙන් නික්ම යාමෙන් අනතුරුව එම පුරප්පාඩුව සඳහා වැඩ බලන නිලධාරියෙකු පත් කර ඇති අතර නුදුරේදීම නව තානාපතිවරයෙකු පත් කිරීමට නියමිතව ඇත.

julie-chung-sri-lanka-experience

julie-chung-sri-lanka-experience

julie-chung-sri-lanka-experience