ගනේවැව පුරාණ විහාර භූමිය අද වන විට දහස් සංඛ්‍යාත ජනතාවකගෙන් පිරී ඉතිරී ගිය පුදබිමක් බවට පත්ව තිබේ. වාහන පෝලිම් සහ දෙදහසකට අධික ජනකායක් මධ්‍යයේ ආවාස ගෙය ඉදිරිපස උස් අසුනක වැඩසිටින කත්නෝරුවේ සිරිධම්ම හිමියන් හමුවීමට පැමිණෙන පිරිස අතිවිශාලය.
පැමිණෙන සියලු දෙනාටම "සුවපත් වේවා" යැයි පවසමින් සිනහවකින් සංග්‍රහ කරන උන්වහන්සේට, ඡායාරූපවලට පෙනී සිටිනවා හැර දීර්ඝ පිළිසඳරකට වෙලාවක් වෙන් කර ගැනීමට පවා නොහැකි තරමට කාර්යබහුලය. එතරම් පිරිසක් පැමිණ සිටියද ඒ සෑම කෙනෙකුටම උන්වහන්සේ දැක බලා වන්දනා කිරීමට අවස්ථාව සලසා දී තිබීම මෙහි ඇති විශේෂත්වයයි. මාධ්‍යවේදීන් හමුවේ පවා ඉතා නිහතමානී වන උන්වහන්සේ, තමන් හමුවීමට පැමිණෙන බැතිමතුන්ගෙන් අවසර ගනිමින් අප සමඟ කතාබහට එක්වූයේ දුර බැහැර සිට පැමිණි අප ගැන පසුතැවෙමින් ඉතා සුහදවය.ගල්ගමුව, කත්නෝරුව වැනි නියඟයෙන් පීඩා විඳින අතිදුෂ්කර ගම්මානයක උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නම සංඛ ප්රියමන්තය. උපාලි බණ්ඩාර සහ ජයන්තා වන්නිනායක යුවළට දාව 1998 ජනවාරි 26 වැනිදා උපන් පවුලේ බාල දරුවා වූ ඔහු, කුඩා කල සිටම පන්සලට සහ බුදු දහමට දැඩි ඇල්මක් දැක්වීය. මවගේ සහ පියාගේ අකමැත්ත මැද වුවද, සිය දැඩි ඉල්ලීම මත වයස අවුරුදු නවයේදී එනම් 2007 වසරේදී ගලපිටියාගම විමලධම්ම අනුනායක හිමියන් යටතේ කත්නෝරුවේ සිරිධම්ම නමින් පැවිදි දිවියට ඇතුළත් විය. ගනේවැව පුරාණ විහාරයේ විහාරාධිපති ගලපිටියාගම වජිරවංශ නායක හිමියන්ගේ සෙවනේ හැදී වැඩුණු උන්වහන්සේ කුඩා කල සිටම කථිකත්වයට සහ නායකත්වයට උපන් හපන්කම් දැක්වූහ.
සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යාතනයෙන් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පාසල් අවධියේ සිටම දක්ෂ කථිකයෙකු ලෙස නමක් දිනා සිටියහ. වයස අවුරුදු 11 දී ධර්ම දේශනා ආරම්භ කළ උන්වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමට ගම්වාසීන් දැඩි කැමැත්තක් දැක්වූ අතර, පිරිවෙනේ ඉගෙන ගන්නා කාලයේදීම විහාරස්ථානයේ වහල්කඩ ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීමට තරම් උන්වහන්සේට සංවිධාන ශක්තියක් තිබුණි. වර්තමානයේ දිදුලන චරිතයක් වුවද, උන්වහන්සේගේ අතීතය කටුක අත්දැකීම්වලින් පිරී තිබුණි. විදුලිය හෝ ජලය නොමැතිව, කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරමින්, දැදුරු ඔයෙන් දිය නාමින් සහ සැතපුම් ගණනක් පයින් ඇවිදමින් උන්වහන්සේ ගෙවා දැමූ දුෂ්කර ජීවිතය අද බොහෝ දෙනා නොදන්නා කරුණකි.
දුෂ්කරතා ජයගෙන අධ්‍යාපනයෙන් ඉහළටම ගිය සිරිධම්ම හිමියෝ වයස අවුරුදු 19 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. එහිදී ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලට ද සම්බන්ධ වෙමින් උපාධිය සම්පූර්ණ කළ උන්වහන්සේ, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ද පශ්චාත් උපාධි හැදෑරූහ. 2023 වසරේ සැප්තැම්බර් මස තමන් අධ්‍යාපනය ලැබූ පිරිවෙනේම පරිවේණාධිපති ධුරයට පත්වීම උන්වහන්සේගේ අධ්‍යාපනික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. වර්තමානය වන විට දෙමළ සහ මුස්ලිම් ජනතාව පවා ආකර්ෂණය කර ගනිමින් රට පුරාත්, ඉන්දියාව, ඩුබායි, සිංගප්පූරුව වැනි විදෙස් රටවලත් ධර්ම දේශනා පවත්වමින් උන්වහන්සේ ලොව පුරා බෞද්ධ ප්රබෝධයක් ඇති කරමින් සිටිති.
තමන් වහන්සේ වටා රොක්වන තරුණ පිරිස සහ ජනප්‍රියත්වය කිසිදු දේශපාලන අරමුණක් සඳහා යොදා නොගන්නා බව උන්වහන්සේ අවධාරණය කරති. තමන් කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත්, තම අරමුණ ධර්මය තුළින් මිනිසුන් සුවපත් කිරීම පමණක් බවත් උන්වහන්සේ පවසති. ඇතැම් පිරිස් එල්ල කරන විවේචන සහ මඩ ප්‍රහාර හමුවේ නොසැලී සිටින උන්වහන්සේ, ජනප්‍රියත්වය තාවකාලික බවත් වැදගත් වන්නේ කරන සේවය බවත් විශ්වාස කරති. උන්වහන්සේගේ දේශනා ශ්‍රවණය කර බොහෝ පිරිස් ජීවිත වෙනස් කරගෙන ඇති අතර, අන්‍යාගමික තරුණ ප්‍රජාව පවා උන්වහන්සේගේ දේශනාවලට සවන් දීම ධර්මයේ ප්රාතිහාර්යයක් ලෙස උන්වහන්සේ දකිති.
සමාජ සත්කාරයන්හි ද නිරත වන උන්වහන්සේ පසුගිය ආපදා සමයේදී විපතට පත් ජනතාව වෙනුවෙන් රුපියල් කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් ද්‍රව්‍ය ආධාර බෙදා දී තිබේ. මේ වන විට ගනේවැව විහාරස්ථානයේ විශාල ධර්ම ශාලාවක් ඉදිවෙමින් පවතින අතර, එය ලබන වෙසක් පොහොයට පෙර නිම කිරීමට නියමිතය. 2026 වසරේ වෙසක් පොහෝ දින තරුණ තරුණියන් පනස් දහසක් සිල් සමාදන් කරවීම උන්වහන්සේගේ මීළඟ මහා පුණ්යකර්මයයි. තරුණ භික්ෂුවක් ලෙස සිල්වත්ව වැඩසිටිමින්, අන් අයගේ දානයෙන් යැපෙන බව සිහි තබාගෙන කටයුතු කිරීම තම ජීවන දර්ශනය බව පවසන කත්නෝරුවේ සිරිධම්ම හිමියෝ, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම ගමන නොනවත්වා ඉදිරියටම යන බව ප්‍රකාශ කරති.
( තරංග රත්නවීර - දිවයින ලිපිය ඇසුරෙනි)
