the-sms-sent-by-lal-kantha-and-the-phone-call-made-by-ranil-while-wimal-was-carrying-out-his-satyagraha

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් ‘‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’’ යන තේමාව යටතේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර, එය මහා සංඝරත්නයේ ඉල්ලීමකට අනුව සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පොරොන්දු වී සිටියද උන්වහන්සේ ඊට වැඩම නොකළ අතර, සඳුදා උදෑසන සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව හිටපු අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

අනතුරුව කෙටි දැනුම්දීමකින් මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට වේලාව වෙන්කර ගත් විමල් වීරවංශ මහතා, ඉරිදා පෙරවරුවේ මහනුවරට ගොස් උන්වහන්සේලා හමුවී පොත්වල පිටු ඉවත් කිරීමෙන් මෙම අධ්‍යාපන ගැටලුවට විසඳුම් ලබා දිය නොහැකි බව පෙන්වා දුන්නේය.




මහනාහිමිවරුන්ගේ ආශිර්වාදය සහ දැනුවත් කිරීමෙන් පසුව, සැලසුම් කළ පරිදි සඳුදා පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාවේදී ඊට දේශපාලන පක්ෂ රැසක නායකයින්ගේ සහය හිමි විය. සර්ව ජන බලය සන්ධානය මාධ්‍ය හමුවක් පවත්වමින් සිය සහයෝගය පළ කළ අතර, එහි උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා සත්‍යග්‍රහ භූමියට පැමිණ ඊට එක්විය. මේ අතර සත්‍යග්‍රහය වාරණය කිරීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වුවද, මහජන සාමයට බාධාවක් නොවන අයුරින් විරෝධතා පැවැත්වීමට අධිකරණය අවසර ලබා දී තිබුණි. අධිකරණ නියෝගය රැගෙන පැමිණි පොලිස් නිලධාරීන්ද එහි රැස්ව සිටි පිරිස සමඟ ගැටුම් ඇති නොවන ආකාරයෙන් ඉතා සුහදව කටයුතු කිරීමට වගබලා ගත්හ.

සත්‍යග්‍රහය ආරම්භ කරමින් විමල් වීරවංශ මහතා ‘‘හරිනිට ගහන කොට ලාල්ට ඌයියා වන බව’’ පවසා සිටි අතර, සත්‍යග්‍රහය ආරම්භ කර පැය කිහිපයකට පසු අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඊට ප්‍රතිචාර දක්වමින් විමල් වීරවංශ මහතා වෙත කෙටි පණිවුඩයක් යොමු කර තිබුණි. ‘‘විමල් උඹ ජාතික නායකයෙක් වෙයන්, ජයන්ත වගේ අයට කියපන් අපට ගහන්න කියල’’ යනුවෙන් එම කෙටි පණිවුඩයේ සටහන්ව තිබිණි. කෙසේ වෙතත් සත්‍යග්‍රහය ආරම්භ කර පසු දින, එනම් අඟහරුවාදා රජය නිවේදනය කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හයවන ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තාවකාලිකව නතර කරන බවයි. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ මෙම වසරේ සිට ක්‍රියාත්මක වුවද, හයවන ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.




රජයේ එම තීරණය සජීවීව නැරඹූ විමල් වීරවංශ මහතා සිනාසෙමින් තමන්ගේ උත්සාහය සාර්ථක වූ බවත්, සත්‍යග්‍රහය නතර කිරීමට කාලය එළඹ ඇති බවත් පවසා සිටියේය. සත්‍යග්‍රහය අවසන් කර නිවස බලා යමින් සිටි විමල් වීරවංශ මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර, එහිදී හිටපු ජනාධිපතිවරයා ‘‘මම විරෝධතාව පටන් ගන්න කොටත් ඔයාට කතා කළා, දැන් ජයග්‍රහණය නිසා කතා කරන්නේ’’ යැයි පවසමින් සුබ පැතුවේය. ‘‘විමල් ඔයා මොනවද මේ හරිනිට කළේ?’’ යැයි රනිල් වික්‍රමසිංහ මහතා විමසූ විට, විමල් වීරවංශ මහතා සිනාසෙමින් ‘‘මම මොකුත් කළේ නැහැ’’ යැයි පිළිතුරු දුන් අතර, විපක්ෂ නායකවරයා කළ යුතු කාර්යභාරය ඉටු කරමින් විමල් ජයග්‍රහණය ලබා ගත් බව පවසමින් රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන සංවාදය අවසන් කළේය.