exhibition-of-relics-from-gujarat-india-at-gangarama-from-4-to-11

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට ජනතාවට වන්දනාමාන කර ගැනීම සඳහා විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වීමට රජය කටයුතු යොදා තිබේ. මෙවර ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ලබන පෙබරවාරි මස 04 වන දින මෙම ධාතූන් වහන්සේලා දිවයිනට වැඩම කරවීමට නියමිත අතර, එදින සිට පෙබරවාරි 11 වන දින දක්වා සතියක කාලයක් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මෙම ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ.

පසුගිය කාලයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙරට ජනතාවට මෙම වටිනා අවස්ථාව උදා වී ඇත.




ලබන මස 04 වන දින පෙරවරු 11.00 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමට නියමිත අතර එදින පස්වරු 3.00 සිට සාමාන්‍ය ජනතාවට ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව විවෘත වේ. මෙම පුණ්‍ය කටයුත්ත රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රමවත්ව සංවිධානය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් මූලික නිරීක්ෂණ කටයුතු සිදු කළේය. එහිදී ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී නාහිමියන් බැහැදුටු අමාත්‍යවරයා උන්වහන්සේගේ අනුශාසනා පරිදි ඉදිරි කටයුතු සැලසුම් කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.

විශේෂයෙන්ම මෙම ධාතු වන්දනාව සඳහා පැමිණෙන විශාල පිරිසක් වූ සැදැහැවතුන් වෙනුවෙන් සපයා දිය යුතු යටිතල පහසුකම් සහ මූලික අවශ්‍යතා සංවිධානය විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම නිරීක්ෂණ චාරිකාව සහ සාකච්ඡාව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බණ්ඩාර මහතා ද එක්ව සිටියේය. මීට පෙර පසුගිය 17 වන දින අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේලා දෙනම බැහැදැක මෙම ධාතු ප්‍රදර්ශනය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට ද කටයුතු කර තිබිණි.