දෙහිවල මුහුදු මාර්ගයේ පිහිටි ‘සී ෂාර්ක්’ (Sea Shark) සංචාරක හෝටලයේ හිමිකරු ඉකුත් 09 වැනිදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංකගේ සෘජු මෙහෙයවීම මත සිදුවූවක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. එදින රාත්‍රී 9.00ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවකු වන 55 හැවිරිදි ඩී.ඒ.
සනත් හෙවත් ‘සනා මාමා’ නමැත්තා ය. මියගිය පුද්ගලයා හෝටලය තුළ තවත් අයකු සමඟ මත්පැන් පානය කරමින් සිටියදී බියර් පානය කිරීමට පැමිණි මුවාවෙන් ඇතුළු වූ වෙඩික්කරුවන් විසින් ඔහුගේ හිසට සහ පපුවට වෙඩි තබා පලාගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.ඝාතනයට ලක්වූ හෝටල් හිමිකරුට මීට පෙර කිසිදු ජීවිත තර්ජනයක් නොතිබූ බව පොලිසිය සඳහන් කළද, ඔහු දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘චූවා සමන්ත’ නමැත්තාගේ සමීපතමයකු බවට තොරතුරු ලැබී තිබේ. බඩෝවිට අසංකගේ පාර්ශ්වය සහ කොස් මල්ලී, චූවා සමන්ත හා බෝධිය වත්තේ අවිශ්ක යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාර්ශ්වය අතර කලක පටන් පවතින ගැටුම්කාරී තත්ත්වය මෙම ඝාතනයට ආසන්නතම හේතුව ලෙස සැක කෙරෙන අතර, මෙම පාතාල කල්ලි දෙක අතර පවතින දරුණු ආරවුල හේතුවෙන් මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඝාතනයට ලක්වූ ‘සනා මාමා’ නමැත්තා මීට ඉහත දී දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු දේශපාලඥයන් ඇසුරු කරමින් කප්පම් ගැනීම් වැනි කටයුතු සඳහා මැදිහත් වූ අයෙකු බවත්, පසුව පාතාල සාමාජික චූවා සමන්ත සමඟ සබඳතා ගොඩනගාගෙන ඇති බවත් හෙළි වී තිබේ. කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට අයත්ව තිබී රජසන්තක කළ දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට රථ ගාල පාලනය කිරීමේ බලය නගර සභාව මගින් මොහුට ලබා දී තිබුණද, ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් වෙලේ සුදා වෙත ලබා දී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් මෙම අපරාධය සිදුකරන අවස්ථාවේ මියගිය අයගේ දරුවා ද අසල ඔන්චිල්ලාවක් පදිමින් සිට ඇති බවත්, අපරාධය සිදුවූ හෝටලය තුළ කිසිදු ආරක්ෂිත කැමරා පද්ධතියක් (CCTV) සවිකර නොතිබීම පරීක්ෂණවලට ගැටලුවක් වී ඇති බවත් පොලිසිය පවසයි. කෙසේ වෙතත් අවට ප්‍රදේශවල සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හඳුනා ගැනීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.