
හොරණ, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් රුපියල් ලක්ෂ 125ක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් සහ බුදු පිළිමයක් නිර්මාණය කිරීම සඳහා දායකයන්ගෙන් එකතු කර තිබූ රුපියල් ලක්ෂ තිස් හතක මුදලක් සොරාගෙන පලා ගිය සිවුරු හැර ගිය පුද්ගලයකු ඇතුළු තිදෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ බෙරලපනාතර සමිත හිමි නොහොත් විතාරණගේ සමන්ත නමැති සිවුරු හැර ගිය පුද්ගලයා, ඔහුට ආධාර අනුබල දුන් රොටුඹ ප්‍රදේශයේ පදිංචි නාඩකන්දගේ ඉෂාර සම්පත් සහ තවත් චීවරධාරියෙකි.
අදාළ විහාරස්ථානයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව විහාරස්ථානයේ දේපළ සහ මෝටර් රථය රැකබලා ගැනීම සඳහා මෙම සැකකාර භික්ෂුව වෙත පැවරී තිබී ඇති අතර, ඔහු එම විශ්වාසය කඩ කරමින් විහාරස්ථානයේ ඔප්පු, දේපළ සහ මුදල් ද රැගෙන සිවුරු හැර පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු කාන්තාවක් සමඟ කාමරයක නවාතැන් ගෙන සිට ඇති අතර, එම ස්ථානය පරීක්ෂා කිරීමේදී කඩුවක්, කාන්තා යට ඇඳුම්, උපත් පාලන කොපු, ලිංගික උත්තේජන ඖෂධ සහ හිස් මත්පැන් බෝතල් පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකරු විහාරස්ථානයේ දේපළ කොල්ලකා පලා යන අතරතුර බීමතින් සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම හේතුවෙන් මීට පෙර මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 60,000ක දඩයක් මත මුදා හැර ඇති බව ද නඩු විභාගයේදී අනාවරණය විය.
පලා ගිය සැකකරු විසින් විහාරස්ථානයට අයත් බුසල් හයක කුඹුරු ඉඩමක සහ අක්කර එකහමාරක ගොඩ ඉඩමක ඔප්පු ද, පන්සල සතු තවත් ඔප්පුවක් ද සොරාගෙන ගොස් තිබේ. මීට අමතරව විහාරස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය, ප්‍රොජෙක්ටර යන්ත්‍රයක් සහ යතුරු කැරැල්ලක් ද මොහු විසින් සොරාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රදේශයේ දායක සභාව දැඩි විරෝධය සහ අප්‍රසාදය පළ කර ඇත.
සොරා ගන්නා ලද මෝටර් රථය මේ වන විටත් වෙනත් පුද්ගලයෙකුට විකුණා ඇති බවත්, එය නැවත සොයා ගැනීම සඳහා හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අධිකරණයට කරුණු වාර්තා කෙරුණි. තවද, මෙම මෝටර් රථය යොදාගෙන සැකකරුවන් වෙනත් අපරාධ සිදු කර ඇත්ද යන්න පිළිබඳව ද පොලිසිය වැඩිදුරටත් සොයා බලයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් වෙනුවෙන් නීතිඥ හේමන්ත වික්‍රමාරච්චි මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.