දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට රැස් කරන ලද ආධාර තොගයක් සම්බන්ධයෙන් සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අශේන් සේනාරත්න විසින් මූලිකත්වය ගෙන සිදු කරන ලද මෙම ආධාර එකතු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඩුබායි, අබුඩාබි, අජ්මාන් සහ රාස් අල් කයිමා වැනි ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් දායකත්වය ලබා දී ඇත.
ඩුබායි හි "එස් එල් රයිටර්ස්" (SL Writers) නමැති කණ්ඩායම සහ සිලෝන් රෝයල් කාගෝ (Ceylon Royal Cargo) නමැති ආයතනය ද මෙම කටයුත්ත සඳහා ඍජුවම සම්බන්ධ වී ඇති අතර, අදාළ භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ සිදු කිරීමට කාගෝ ආයතනය ඉදිරිපත් වී තිබේ.මෙම ව්‍යාපෘතිය මගින් ටොන් හතළිස් පහක (45) පමණ ආධාර තොගයක් රැස් කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබුණ ද, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇත්තේ ලොරි හතරකට සීමා වූ ආධාර ප්‍රමාණයක් පමණක් බවට පැමිණිල්ල මගින් අනාවරණය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් තහවුරු කර ඇති පරිදි ඔවුන් වෙත ලැබී ඇත්තේ කාටුන් පෙට්ටි 160කට ආසන්න ප්‍රමාණයක් පමණි. එකතු කරන ලදැයි පැවසෙන ටොන් 45ක විශාල ආධාර ප්‍රමාණය සහ ලංකාවට ලැබුණු ප්‍රමාණය අතර බරපතල පරස්පරතාවයක් පවතින බව පැමිණිලි පාර්ශවය පෙන්වා දෙයි.
මෙම භාණ්ඩ තොගය ලංකාවට එවීමේදී අදාළ කාගෝ සමාගම හෝ අශේන් සේනාරත්න විසින් නැව් භාර පත්‍ර (Bill of Lading) හෝ HDL වැනි අත්‍යවශ්‍ය ලියකියවිලි කිසිවක් ඉදිරිපත් කර නොමැති බවට ද චෝදනා එල්ල වේ. මෙම භාණ්ඩ එවා ඇත්තේ සම්පූර්ණ බහාලුම් (FCL) ලෙස නොව, බහාලුම් කොටස් (LCL) ක්‍රමවේදය යටතේ බව නිරීක්ෂණය වී ඇත. මේ හේතුවෙන් අදාළ බහාලුම් වරායෙන් නිදහස් කර ගැනීමේදී කෙලින්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යොමු නොකර, තෙවන පාර්ශවීය ගබඩාවක් වෙත ගෙන ගොස් එහිදී බහාලුම් විවෘත කර භාණ්ඩ වෙන් කිරීමක් සිදු කර ඇති බවට සැක කෙරේ.
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම බහාලුම් නිසි පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇති බවටත්, ආපදා සහන මුවාවෙන් වෙනත් තහනම් භාණ්ඩ (සිගරට්, මත්පැන් හෝ රත්රන් වැනි) ගෙන්වීමට මෙම ක්‍රමවේදය අවභාවිතා කළේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවන බවත් පැමිණිලිකරුවන් සඳහන් කරයි. විශේෂයෙන්ම ඩුබායි හිදී භාණ්ඩ පටවන ආකාරය හෝ ලංකාවේදී අදාළ තුන්වන පාර්ශවීය ස්ථානයේදී භාණ්ඩ බාන ආකාරය දැක්වෙන වීඩියෝ සාක්ෂි නොමැති වීම මෙම සැකය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වී ඇත.
තම වැටුපෙන් කොටසක් වැය කරමින් ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් සිදු කරන ලද මෙම මානුෂීය පරිත්‍යාගයට සාධාරණයක් ඉටු විය යුතු බවත්, අතුරුදහන් වූ ආධාර තොගයට සිදුවූයේ කුමක්ද යන්න වහාම හෙළිදරව් කර ගත යුතු බවත් පැමිණිල්ල මගින් අවධාරණය කර ඇත. සිලෝන් රෝයල් කාගෝ ආයතනයේ හිමිකරු වන චමින්ද විදානගමගේ සහ ව්‍යාපෘතිය මෙහෙයවූ අශේන් සේනාරත්න ඇතුළු වගකිවයුතු පාර්ශවයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසත්, රේගු නිලධාරීන් මෙම භාණ්ඩ පරීක්ෂාවකින් තොරව නිදහස් කළේ මන්දැයි සොයා බලන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින ලදී.