darshana-handungoda-who-said-ill-go-and-come-went-and-left

ප්‍රකට දේශපාලන විචාරකයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අද (10) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා සැත්කමකට භාජනය වීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස දිවි සැරිය නිමා කර ඇති අතර, මියයන විට හඳුන්ගොඩ මහතා 55 වැනි වියේ පසුවිය.

විශේෂයෙන්ම 'SL DESHAYA' යූටියුබ් නාලිකාව ඔස්සේ රටේ පවතින ජාතික ගැටලු සහ දේශපාලන තත්ත්වයන් පිළිබඳව අතිශය විවේචනාත්මක සහ ගවේෂණාත්මක අදහස් ඉදිරිපත් කළ ඔහු, සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය චරිතයකි. සමාජ සාධාරණත්වය උදෙසා සමාජ මාධ්‍ය මෙවලමක් ලෙස භාවිත කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ හඳුන්ගොඩ මහතා, සිය සෘජු මතවාද සහ විවේචන හේතුවෙන් අවස්ථා ගණනාවකදී රාජ්‍ය මර්දනයන්ට ද මුහුණ දුන් මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රකටය.




 අභාවප්‍රාප්ත දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය පසුව දැනුම් දෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. මීට මාස පහකට පමණ පෙර සිය අසනීප තත්ත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කරමින් 'ගිහින් එන්නම්' යනුවෙන් පළ කළ වීඩියෝව ඔහු සිය ප්‍රේක්ෂක ප්‍රජාව ඇමතූ අවසන් අවස්ථාව බවට පත්ව තිබේ. ඔහු එම වීඩියෝවේදී සිය රෝගාබාධය ගැන ඉඟි කරන අතරම සැත්කමින් පසු කුමක්වේද යන සැකයද ඉතිරි කර කතාව නිම කිරීම කම්පනීය අවස්ථාවකි. ඔහුගේ එම වීඩියෝ කතාව මෙසේය.

ඉතින් ආයුබෝවන්!

අද අපි මේ රාත්‍රියක හමු වුණේ පාර්ලිමේන්තුව පෙනෙන දුරක සිට.
පසුගිය දින ගණනාවක් පුරාම අප SL දේශයේ මෙම සටහන්කරු එක්තරා ආකාරයක නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒක දන්න පෞද්ගලික හිතවතුන්, මිතුරන් රාශියක් ඉන්නවා.
බොහෝ අය මගෙන් විමසන්නට පටන් ගත්ත වැදගත්ම කාරණාව තමයි මේක.
මොකද මේ ආණ්ඩුව කට වැහුවද?
ආණ්ඩුව මොකක් හරි වරප්‍රසාදයක්, වරදානයක් දීලා "බඩු කෑල්ලව" පැත්තකට කළාද?
එහෙම නැත්නම් තවත් අය විවිධ හේතු හදාගෙන කියන්න පටන් ගත්තා.
"ආ... මේක බීලද?"
"ඇයි දැන් ප්‍රෝග්‍රෑම් කරන්නේ නැත්තේ?"
එහෙමත් කියපු අය ඉන්නවා.
කොහොම නමුත් ඉතින්, මේ ජීවිතයේ "ඇත්ත" නැමැති කොටස එක්කත් අපිට පෑහෙන්න වෙන අවස්ථාවක් එනවනේ. ඒක අපි ඕගොල්ලෝ කවුරුත් දන්නවා.
අපි පැවති හා පැවතුණු, ගොඩනැගුණු සකලවිධ ආණ්ඩු සහ අපි රජයන් නිර්ලෝභීව විවේචනය කරලා තිබෙනවා. හොඳ දේට හොඳයි කියලා තියෙනවා. නරක දේට නරකයි කියලා තිබෙනවා. එකඟ දේට "ඔව් අපි එකඟයි" කියලා කියලා තියෙනවා.
එවැනි අවස්ථා එහෙම තමයි. අර ඈත පේන්නෙත් දියවන්නාවම තමයි. එහෙම නැතුව වෙන මුකුත් දේවල් නෙමෙයි.
නමුත් අපි කල්පනා කළා, වැදගත් ලෙස ඔබව දැනුවත් කරලා යා යුතු වැදගත් ගමනක් තිබෙනවා. යන්නට වෙනවා. ඒ ගමන යන්නට පෙරතුව ඔබව දැනුවත් කළ යුතුයි කියලා, අපි SL දේශයේ මෙම සටහන්කරු කල්පනා කළා.
ඒ තමයි, මිනිස්සු විදියට අපි හැමෝම වයසට යනවා, වියපත් වෙනවා, විවිධ රෝගාබාධවලට මුහුණ පානවා, විවිධ රෝග වැළඳෙනවා.



ඒ වගේ ප්‍රතිකාර ගැන ඔහොම කියාගෙන කියාගෙන ගියොත් පුතෝ, පැයක් හමාරක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනෑම මහා පාරක හිටගෙන, දේශපාලනය කතා කළා වගේම තමයි.
නමුත් ඉතින් අර කාලයත් එක්ක ගොඩනැගුණු, නමුත් ඒ පිළිබඳව එතරම් අවධානය යොමු නොකරපු ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ බැරෑරුම්කම දැනෙනකොට ටිකක් කල් වැඩියි. දැන් තමයි ඒ ගැන පසුතැවිලි වෙන්නේ.
ඒ නිසා අවසානයේ තීරණය කළා, මෙම සටහන්කරු සැත්කමකට භාජනය වීමට නියමිතයි. ඒ සැත්කමට මුහුණ දෙන්නම ඕනා. මග හරින්නම බෑ.
ඇත්ත කියන්නම්, "ෆුල් ට්‍රයි" එකක් දුන්නා මග අරින්න. මොකද හංගන්නේ? දන්නෝ දනිද්දී, කවුරු නොදන්නවා වුණත් මගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියෝ පවා දන්නවා. එදත් මාත් එක්ක හිටපු මගේ එන්.පී.පී (NPP) මිත්‍රයා ඉතා හොඳින් දන්නවා.
ඒ නිසා මේ සැරේ නම් පුතෝ මේ සැත්කම මග අරින්න බෑ. ඒ නිසා ඒ සැත්කමට පහුගිය කාල වකවානුව පුරාම සූදානම් වුණා.
ඉතින් කල්පනා කළා, අවසානයේ මම හෙට ආරෝග්‍යශාලා ගත වෙනවා. ඒක අර පේ වෙලා යන්න ඕන ගමනක්. ඒක මේ "පාටි දාලා" යන ගමනක් නෙවෙයි. කාලා බීලා ආතල් ගන්න යන ගමනක් නෙවෙයි. ඒ නිසා ඒක වෙනම ගමනක්.
ඒ නිසා ඒ යන්න පෙරතුව ඔබව දැනුවත් කරන එක මගේ යුතුකමක් සේම වගකීමක් ලෙස මා සලකනවා. නැතුව ආණ්ඩුව මගේ කට වහලාවත්, නැත්නම් ආණ්ඩුව මට අහවල් දේ දීලා, ආණ්ඩුවෙන් මම අහවල් දේ ඉල්ලලා, ඉතින් ඒක නොදුන්න හින්දා මේ ෆුල් අවුල් වෙලා... ඒ "උටපට බබාහුකුන්" එදා තිබුණෙත් නෑ, අදත් නෑ, හෙට ජීවිතයට ඇත්තෙත් නෑ.
නමුත් කල්පනා කළා, මේ ඉස්සෙල්ලාම මොනවා කරන්නත් සෞඛ්‍ය ගොඩදාගන්න ඕනා. සෞඛ්‍ය ගොඩදා ගත්තොත් හැප්පෙන්න පුළුවන්, තව කලක්.
ඒ නිසා ඒ සෞඛ්‍ය ප්‍රශ්න නිසා හෙට මම ආරෝග්‍යශාලා ගත වෙනවා.
යුතුකමක් ලෙස මා සමග විශාල දීර්ඝ කාලයක් මට බනිමින්, දොස් කියමින්, ඇතැම් අය හොඳ කියමින්, ඇතැම් අය මගේ මියගිය දෙමව්පියන්ට හෙන ඉල්ලමින්, නානා ප්‍රකාර විදිහට මට දෝෂාරෝපණය කරපු සියල්ලන්ගෙන් ම තරහක්, අබමල් රේණුවක් තරම්වත් හිතේ රඳවා නොගෙන මම හෙට රෝහල්ගත වෙනවා.
මම බලාපොරොත්තු වෙනවා... වෛද්‍යවරු කියනවා, විශේෂඥ වෛද්‍යවරු "සුව කරලා දෙන්නම්, හැබැයි පුතෝ කැප වෙන්න ඕනා" කියලා.
අවංකවම කැප වෙනවා. කැප නොවුවොත් ඒක මට අකැපයි. මට අකැප වුණොත් කතාව ක්ලෝස් (Close) වෙනවා.
ඒ නිසා මම මගේ යුතුකම දෙසිදෙස් ධාන්‍යකයින් වෙනුවෙන් නැවතත් ඉටු කරන්නට බලාපොරොත්තුවෙන්, ඒ අදහස පෙරදැරි කරගෙන මම හෙට රෝහල්ගත වෙනවා.
මම දන්නේ නෑ දවස් කීයක්, දින කීයක් මට රෝහල්ගතව ඇඳක් උඩ ඉන්න වෙයිද කියලා. ඒ ගැන ඉතින්... එහෙම තමයි මිනිස්සු ලෙඩ වෙනවා ජීවිතයේ යම් යම් කාලවකවානු වලදී. ඒක මට විතරක් පෞද්ගලික දෙයක් නෙමෙයි. පෞද්ගලික ප්‍රශ්නයකුත් නෙමෙයි. ආචාර්ය මහාචාර්යවරු, දේශපාලනඥයෝ, අගමැතිවරු, ජනාධිපතිවරු එක තැන් වෙනවා. සාමාන්‍ය ස්වභාවික තත්ත්වය ඒකයි.
නමුත් නැවත සුවය ලද සැනින්; කවුද වරද කරන්නේ? ඒ කරන කෙනා කවුද? ඔහුගෙ වර්ණය මොකක්ද? සලකුණ මොකක්ද? දරන තනතුර මොකක්ද? දරන ඇමතිකම මොකක්ද? මාලිමාවද, යන්ත්‍රේද, අලියද, හරකද, බල්ලද, බූරුවද... මොකා වුනත් පුතෝ, සුව වෙලා සැනින්, නවත්වපු මොහොතේ ඉඳන් නැවත පටන් ගන්නවා අපේ පුරුදු කතාව.
එතෙක් පොඩි කාලයක් දෙන්න. මම හෙට එම සැත්කමට භාජනය වෙලා, සාර්ථකව සැත්කමට මුහුණ දීලා, අලුත් ධෛර්යයකින්, අලුත් ශක්තියකින්, අලුත් ජවයකින්, අලුත් හය්යකින් ඔබ හදපු ජනවරම වෙනුවෙන්, ඒකෙ හොඳ නම් හොඳයි - ඒක නරක නම් නරකයි කියන්නත් අපි පසුබට නොවී ගෙදර එනවාය යන බලාපොරොත්තුව පෙරදැරි කරගෙන යන්නට යනවා එහෙනම්.
ජය වේවා!
නිදහස් සෞඛ්‍යයට ජය වේවා!
නිදහස් අධ්‍යාපනයට ජය වේවා!