
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් හට අගෞරව වන පරිදි අමතර පන්ති ගුරුවරයෙකු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ. 'චෙගුරා' යන අන්වර්ථ නාමයෙන් රසායන විද්‍යාව උගන්වන තමීර හේරත් ජයසිංහ නමැති මෙම ගුරුවරයා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවති පන්තියක් අතරතුර මෙම ප්‍රකාශය සිදු කර ඇති බව අනාවරණය වේ.
අදාළ වීඩියෝව තුළ මෙම ගුරුවරයා විසින් මාර්ටින් වික්‍රමසිංහයන් "මෝඩයෙකු" ලෙස හැඳින්වීමට කටයුතු කර ඇති අතර, ගම්පෙරළිය වැනි කෘති කියවීමට සිසුන් ප්‍රිය නොකරන බවත් ඔහුව මහා ගත්කරු ලෙස හඳුන්වන්නේ මන්දැයි තමන්ට නොතේරෙන බවත් සිසුන් හමුවේ ප්‍රකාශ කර ඇත. පාසල් පෙළපොත් හෝ ගුරුවරුන් විසින් උගන්වන ලද දෙයක් මිස වික්‍රමසිංහයන්ගේ විශේෂත්වයක් තමන් නොදකින බවත්, විභාග අවශ්‍යතා මත සිසුන් එම කරුණු ලියන නමුත් ඔවුන්ට කිසිදු රසවින්දනයක් නොලැබෙන බවත් ඔහු එහිදී අවධාරණය කර තිබේ.
එමෙන්ම සිංහල සාහිත්‍යය විෂය නිර්දේශයට ඇතුළත් කර තිබීම පිළිබඳව ද දැඩි විවේචනයක් එල්ල කරන මෙම ගුරුවරයා, අදාළ වීඩියෝව තුළ සැළලිහිණි සංදේශයේ කවියක් විකෘති කරමින් ඊට අසභ්‍ය වචන යොදා ගායනා කර පෙන්වීමට ද කටයුතු කර තිබුණි.
"අර 'ගම්පෙරළිය' ලියපු මාර්ටින් වික්‍රමසිංහ කියන මෝඩයා කවුද? උඹලා ඇත්තටම ආසද බන් ගම්පෙරළිය කියවන්න? මහා ගත්කරු කියලා කිව්වට මොකක්ද එයාගේ තියෙන විශේෂත්වය? මට නම් තේරෙන්නේ නෑ. අර ඉස්කෝලෙ අච්චු පොතේ තියෙන විදිහට, නැත්නම් ඉස්කෝලෙ උගන්නපු විදිහට මෙයාව මහා ලොකු කරලා පෙන්නුවට, ඒක කොච්චර බොරුද කියලා මට හිතෙනවා. විභාගෙට ඕන නිසා පාඩම් කළාට මේවා මොන විකාරද? පොතක් කියවන්න හිතෙන්නෙවත් නැති විදිහට ලියන මනුස්සයෙක් කොහොමද 'මහා ගත්කරුවෙක්' වෙන්නේ? මට නම් හිතෙන්නේ සිංහල සාහිත්‍යයයි, ඒකේ අරමුණුයි කියන ඒවා මහා 'රෙද්දවල්'. මම අදටත් ඒ ගැන කල්පනා කරනවා.
අනික බලපන් අර සැළලිහිණි සංදේශය. ඒකේ පළවෙනි කවිය මොකක්ද කියලා නම් මම දන්නේ නෑ. හැබැයි එක දවසක් මට ඒකට හදපු ආදේශක (විකාර) කවියක් ඇහුණා. මට මතක හැටියට ඒක යන්නේ 'රැය පැමිණියා... ඇය පැමිණියා... ඇඳ ලඟට...' වගේ කෑල්ලක්. අන්න ඒ වගේ ඒවා නේද අපි පොඩි කාලේ ආසාවෙන් කිව්වේ?"
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ බොහෝ දෙනෙකු ඒ පිළිබඳව තම දැඩි පිළිකුල සහ විරෝධය පළ කර සිටියහ.
තමන් වෙත එල්ල වූ මෙම දැඩි සමාජ විරෝධය හේතුවෙන් අදාළ ගුරුවරයා ඊයේ (20) ෆේස්බුක් ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. මුදල් ගෙවා සම්බන්ධ වන සිසුන් සඳහා පමණක් පැවති සංවෘත පන්තියක් තුළ විෂය කරුණක් පැහැදිලි කිරීම සඳහා යොදාගත් උදාහරණයක් මෙලෙස ටික්ටොක් වීඩියෝවක් ලෙස සංස්කරණය වී ප්‍රචාරය වී ඇති බව හෙතෙම පැහැදිලි කළේය.
කෙසේ වෙතත් එම ප්‍රකාශය තමන් විසින් සිදුකළ බැවින් එහි වගකීම තමන් භාරගන්නා බවත්, එම අවස්ථාවේදී අනවශ්‍ය සහ වැදගැම්මකට නැති වචන තමන් අතින් ප්‍රකාශ වූ බවත් ඔහු පිළිගෙන තිබේ. එම ප්‍රකාශය පිළිබඳව තමන් තුළද ඇත්තේ කනගාටුවක් බවත්, ඉන් සිත් තැවුලට පත් වූ සියලු පාර්ශ්වයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් සඳහන් කළ ඔහු, මින් ඉදිරියට මෙවැනි වැරදි සිදු නොවීමට වගකීමෙන් කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
