ඇමරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඉවත් වී ඇති අතර, එම සංවිධානය වෙත ගෙවිය යුතුව තිබූ හිඟ සාමාජික මුදල ගෙවීම ද ප්‍රතික්ෂේප කර තිබේ. ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර ඇත්තේ යළිත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්වීමේ කිසිදු සැලසුමක් තමන්ට නොමැති බවත්, මින් ඉදිරියට රෝග නිරීක්ෂණය සහ අනෙකුත් ප්‍රමුඛතා සම්බන්ධයෙන් වෙනත් රටවල් සමඟ සෘජුව සම්බන්ධ වී කටයුතු කරන බවත්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ වන විටත් අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ලබා දී ඇති බව පවසමින් ට්‍රම්ප් පාලනය මෙම හිඟ මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 වසරේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පළමු දිනයේදීම මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණි. රෝග පැතිරීම වැළැක්වීම, පාලනය කිරීම සහ තොරතුරු බෙදා හැරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අසාර්ථක වී ඇති බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කරයි. ජාත්‍යන්තර සංවිධානයකින් ඉවත් වීමේදී වසරක පූර්ව දැනුම් දීමක් සහ හිඟ මුදල් පියවීම සාමාන්‍ය නීතිය වුවද, ඉවත්වීමට පෙර මුදල් ගෙවීම අනිවාර්ය බවට වන කොන්දේසියක් නීතියේ නොමැති බව ඇමරිකානු නිලධාරීන් තර්ක කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමස්ත අයවැයෙන් 18%ක් පමණ ආවරණය කළ විශාලතම පරිත්‍යාගශීලියා වූ ඇමරිකාව ඉවත් වීම හේතුවෙන් එම සංවිධානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී. මේ හේතුවෙන් සංවිධානයේ කළමනාකරණ කණ්ඩායම අඩකින් අඩු කිරීමටත්, විවිධ ක්‍රියාකාරකම් කප්පාදු කිරීමටත් සිදුව ඇති අතර, වසරේ මැද භාගය වන විට සේවක සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණ අඩු කිරීමට සිදුවනු ඇති බව WHO ප්‍රකාශ කර තිබේ. මෙම තීරණය ඇමරිකානු නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ නීති විශාරදයින් පෙන්වා දුන්නද, ට්‍රම්ප් පරිපාලනය එම විවේචන නොසලකා හැර ඇති බව පෙනේ.
බිල් ගේට්ස් ඇතුළු ගෝලීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ ලෝකයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍යතාව තදින්ම පවතින බවත්, ඇමරිකාව ඉක්මනින් නැවත පැමිණෙනු ඇතැයි තමන් නොසිතන බවත්ය. රෝග හඳුනා ගැනීම සහ ඊට එරෙහිව සටන් කිරීම සඳහා ලෝකය විශ්වාසය තබා ඇති පද්ධතිවලට මෙමගින් හානි සිදුවන බව බ්ලූම්බර්ග් ෆිලැන්ත්‍රොපීස් හි සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇත. මීට අමතරව, එක්සත් ජාතීන්ගේ ආයතන 31ක් ඇතුළුව තවත් ජාත්‍යන්තර සංවිධාන 66කින් නිල වශයෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ද වාර්තා වේ.
