ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 2026 ජනවාරි 09 වන දින
පෙ.ව.06.00 වන විට මෙම කාලගුණ පද්ධතිය මඩකලපුව සිට කිලෝමීටර් 170 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ අතර, එය වයඹ දෙසට ගමන් කරමින් අද (ජනවාරි 09) සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර වෙරළ තීරයෙන් දිවයිනට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ පවතී. මෙම තත්ත්වයෙහි සෘජු බලපෑම හේතුවෙන් දිවයිනේ උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් බලාපොරොත්තු විය හැක.විශේෂයෙන් උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ජනවාරි 09 වන දින පැයට කිලෝමීටර් 50-60 ත් අතර ඉතා තද සුළං ඇති විය හැකි අතර විටින් විට එම සුළං ප්‍රවාහයන් පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතී. මීට අමතරව බස්නාහිර, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වල ද විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර ජනවාරි 10 සහ 11 යන දිනවලදී මෙම සුළං තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. වැසි තත්ත්වය සලකා බැලීමේදී මුලතිව්, යාපනය, වවුනියා, මන්නාරම, කිලිනොච්චි, අනුරාධපුර, පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව සදහන් වේ. අම්පාර, මඩකලපුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100 ට වැඩි තද වැසි හෝ මිලිමීටර් 50-75 අතර තරමක තද වැසි අපේක්ෂා කළ හැකි අතර සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.
මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් ද දැඩි අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති අතර, නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවට උපදෙස් දී තිබේ. විශේෂයෙන් උතුරු අක්ෂාංශ 04 - 14 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 76 - 85 ත් අතර මුහුදු කලාපය තුළ යාත්‍රා කිරීම ඉතා අනතුරුදායක වන බැවින් එම කලාපවලට යාමෙන් වැළකී සිටිය යුතු අතර, දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතු බව දන්වා සිටිනු ලැබේ.
මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දේපළ හා ජීවිත හානි අවම කරගැනීම සඳහා මහජනතාව විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. තද සුළං හේතුවෙන් පැල්පත් සහ තාවකාලික ඉදිකිරීම්වලට හානි සිදුවීම, වහලවල තහඩු ගැලවී යාම, විදුලි සහ දුරකථන රැහැන් ඇද වැටීම මෙන්ම ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බව පෙන්වා දී තිබේ. එසේම වී, කෙසෙල් සහ පැපොල් වැනි වගාවන්ට ද හානි සිදුවිය හැකි අතර වරාය ආශ්‍රිතව නවතා ඇති යාත්‍රා අංගනවලට ද හානි පැමිණිය හැක. වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවීම සහ ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද පවතී.
ආරක්ෂිත පියවරක් ලෙස වෙරළාසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වෙත යා යුතු අතර බලපෑමට ලක්වන ප්‍රදේශවල අනෙකුත් ජනතාව නිවාස තුළට වී සිටීම වඩාත් සුදුසු බව දැනුම් දී තිබේ. කඳුකර ප්‍රදේශවල, විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම රථවාහන පදවන්නන් ද මෙම කාලගුණ තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය. ගිගුරුම් සහිත වැසි පවතින විට රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙසත්, හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



