තායිලන්තයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් මතට ඉදිකිරීම් කටයුත්තක් සඳහා යොදාගනිමින් තිබූ දැවැන්ත දොඹකරයක් කඩා වැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බැංකොක් නුවරට කිලෝමීටර් 230ක් පමණ ඊසාන දෙසින් පිහිටි නකෝන් රට්චසිමා (Nakhon Ratchasima) ප්‍රාන්තයේදී බදාදා දින උදෑසන 9:05ට පමණ මෙම ශෝකජනක අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අඩි 65ක් පමණ ඉහළින් ඉදිවෙමින් පැවති දුම්රිය පාලමක් මත සිට මෙම දොඹකරය ධාවනය වෙමින් තිබූ දුම්රිය මතට කඩා වැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය පැයට කිලෝමීටර් 120ක පමණ වේගයෙන් ගමන් කරමින් තිබී ඇත. මෙම දුම්රියේ මගීන් 195 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ඉන් බහුතරයක් පාසල් සිසුන් බව බලධාරීන් තහවුරු කර තිබේ. අනතුර හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 80ක් පමණ වන අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දොඹකරය හදිසියේම මාර්ගය හරහා කඩා වැටීම හේතුවෙන් දුම්රිය රියදුරාට වේගය පාලනය කිරීමට හෝ තිරිංග යෙදීමට කිසිදු අවස්ථාවක් ලැබී නොමැති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. දොඹකරයේ සුන්බුන් දුම්රිය මැදිරි මතට පතිත වීමත් සමඟ මැදිරි කිහිපයක් පීලි පැන ඇති අතර, පීලි පැනීමත් සමඟම දුම්රියේ ගින්නක් ද හටගෙන ඇත. ගැටුමේ වේගය කෙතරම් දරුණු වී ද යත් දුම්රිය මැදිරිවල වීදුරු බිඳී ගොස් දුම්රියට දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවූ වහාම සහන කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර, යකඩ සුන්බුන් අතර සිරවී සිටි මගීන් මුදා ගැනීම සඳහා කැපුම් උපකරණ ද භාවිතා කිරීමට සිදුවිය. මේ වන විට මළ සිරුරු 12ක් පමණ සොයාගෙන ඇති බවත්, ඉදිකිරීම් කටයුත්තේදී නිසි ආරක්ෂක විධිවිධාන අනුගමනය කර ඇත්ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් බලධාරීන් පවසයි. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ විශාල ශබ්දයක් සමඟ පිපිරීම් හඬවල් ඇසුණු බවත්, දොඹකරයේ යකඩ කොටස් වැදීමෙන් දුම්රිය මැදිරියක් කොටස් දෙකකට වෙන් වී ගිය බවත් ය.