මෝල්ඩෝවා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් විදේශ රටක සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු අනාවරණය වී තිබේ. "ඩුබායි සුද්දා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම පුද්ගලයා සිය පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝ දර්ශන මුදාහරිමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටත්, මොහුට මුදල් ලබා දී අගතියට පත් පිරිස මේ වන විටත් කාර්යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බවටත් වාර්තා වේ.
මොහුට එරෙහිව මේ වන විටත් කාර්යාංශය මගින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර, මෙම ජාවාරමට හසුවූ තවත් පිරිස් සිටී නම් වහාම කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත රැකියා සඳහා බඳවා ගැනීම, ප්‍රචාරණය සිදුකිරීම, මුදල් එකතු කිරීම, තොරතුරු රැස් කිරීම හෝ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු අතර, එසේ නොමැතිව කටයුතු කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි. මෙවැනි මිනිස් වෙළඳාම්කරුවන් මැඩලීමේ අරමුණින් අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත කාර්යාංශය තුළ විශේෂ පොලිස් ඒකකයක් ද ස්ථාපිත කර ඇති අතර, එම ඒකකයට මෙවැනි පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන් වේ.
විදේශ රටවල රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයින් විසින් නව සමාජ මාධ්‍ය ප්රවණතා සහ සිය පෞද්ගලික ගිණුම් භාවිත කරමින් විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචා කිරීමේ ප්‍රවණතාවයක් වර්තමානය වන විට නිර්මාණය වී තිබේ. මොවුන් රැකියා අපේක්ෂිතයින්ගේ විශ්වාසය දිනාගෙන සිය පුද්ගලික බැංකු ගිණුම්වලට මුදල් බැර කරවා ගන්නා අතර, ඇතැම් අවස්ථාවලදී ව්‍යාජ රැකියා ගිවිසුම් සහ ව්‍යාජ වීසා ලේඛන ද ඉදිරිපත් කරනු ලබයි. මුදල් ලබා ගැනීමෙන් අනතුරුව දුරකථන ක්‍රියා විරහිත කර සමාජ මාධ්‍ය ගිණුම් ද අක්‍රිය කරමින් මොවුන් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි ලෙස අතුරුදහන් වන බැවින්, මෙවැනි වංචාකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇත.
එබැවින් විදේශ රැකියාවක් ලබා ගැනීම සඳහා කාර්යාංශයේ අනුමත ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතන හරහා පමණක් කටයුතු කරන ලෙසත්, නීත්‍යානුකූල නොවන වෙනත් අතරමැදියන්ට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබා දීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ට දැඩිව අවධාරණය කර සිටියි.