හිටපු අමාත්‍යවරයෙකු සහ ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතාගේ අභාවය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබන ලද ආන්දෝලනාත්මක සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ. "නන්දන ගුණතිලක: මැරුණා ද?
මැරුවා ද?" යන මැයෙන් යුතුව ගම්මන්පිල මහතා තැබූ එම සටහන මගින් ඔහු ප්‍රශ්න කර සිටින්නේ ගුණතිලක මහතාගේ මරණය ස්වාභාවික එකක් ද එසේත් නොමැති නම් සැලසුම් සහගත ඝාතනයක් ද යන්නයි.තමන් නන්දන ගුණතිලක මහතා සමඟ වසර 26ක පමණ කාලයක් දැන හඳුනාගෙන සිටිය ද, මෑත කාලීනව වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් විවේචනය කිරීමත් සමඟ දෙදෙනා අතර දැඩි සමීපත්වයක් ගොඩනැගුනු බව ගම්මන්පිල මහතා සඳහන් කරයි. විශේෂයෙන්ම අල්ලස් කොමිසමේ පත්කිරීම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම හේතුවෙන් තමන්ට සහ ගුණතිලක මහතාට එරෙහිව වෛරී සහගත ප්‍රතිචාර එල්ල වූ බව ඔහු පවසයි.
ගම්මන්පිල මහතා ඉදිරිපත් කරන කරුණු අනුව, මියයෑමට මාස දෙකකට පමණ පෙර නන්දන ගුණතිලක මහතා බියට පත් ස්වභාවයෙන් තමන් හමුවීමට පැමිණ තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ව ඝාතනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බවත්, එය වස දීමකින් හෝ රිය අනතුරකින් සිදුවීමට වැඩි ඉඩක් ඇති බවත්ය. පක්ෂය අතහැර ගිය අය සහ පක්ෂය විවේචනය කරන අය ඝාතනය කිරීමේ ඉතිහාසයක් එම පක්ෂයට ඇති බව ගුණතිලක මහතා තමන්ට සිහිපත් කළ බව ද ගම්මන්පිල මහතාගේ සටහනේ දැක්වේ. මීට අමතරව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ප්‍රියන්ජිත් විතාරණ විසින් ද ගුණතිලක මහතා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි කළ බවත්, ගුණතිලක මහතා රෝහල්ගතව සිටියදී තමන් ඔහුව බැලීමට ගිය අවස්ථාවේදී ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
"දින කිහිපයකට පෙර නන්දන අසනීප වී ජයවර්ධනපුර රෝහලේ සිටින බවට දැන ගැනීමට ලැබිණි. බටහිර ඔත්තු සේවා චිත්‍රපට අනුව නම් සතුරා මරා දැමීමට රෝහල තරම් තවත් සුදුසු ස්ථානයක් නැත." ගම්මංපිලගේ සටහනේ සාක්ෂි නැතිව සටහන් තබා ඇත.
කෙසේ වෙතත්, උදය ගම්මන්පිල මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයකි. මෙම ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දක්වා ඇති බහුතරයක් දෙනා චෝදනා කරන්නේ මියගිය පුද්ගලයෙකුගේ දේහය පවා විකුණා ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට ගම්මන්පිල මහතා උත්සාහ කරන බවයි.
ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනෙකු ඉතා පරුෂ වචනයෙන් ගම්මන්පිල මහතාට බැන වැදී ඇති අතර, ඔහු "මිනී කන්නෙක්" සහ "දේශපාලන අනාථයෙක්" ලෙස හඳුන්වා දී තිබේ. මරණය සැක සහිත බවට ගම්මන්පිල මහතා මතු කරන තර්කය පිළිගන්නා පිරිස ඉතා අතලොස්සක් වන අතර, බහුතරය ප්‍රකාශ කර ඇත්තේ මෙය හුදෙක් දේශපාලන මඩ ගැසීමක් පමණක් බවයි. නන්දන ගුණතිලක මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරතුරම, මෙවැනි සංවේදී අවස්ථාවක් දේශපාලනීකරණය කිරීම පිළිබඳව ජනතාව සිය දැඩි පිළිකුල පළ කර තිබේ.


