all-i-did-was-divide-the-story-of-the-butcher-shop-owner-after-6-people-died

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ සිදුවූ මාරාන්තික විෂ ශරීරගත වීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් රෝහල් ගත කර තිබේ. ඊයේ 06 වැනිදා පෙරවරුවේ මෙම මරණ පිළිබඳ තොරතුරු මුලින්ම වාර්තා වී තිබුණේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ලැයිම් කාමරයක් තුළිනි.

එහිදී මියගොස් සිටි අනුරාධපුර පොතානේගම පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු සහ ඩයගම පදිංචි 28 හැවිරිදි තරුණයෙකු හඳුනා ගැනුනි. පොලිසිය මෙම මරණ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතරතුර ඊට නුදුරු නිවසක තනිව වාසය කළ 53 හැවිරිදි පුද්ගලයෙකුද මියගොස් සිටියදී සොයා ගනු ලැබීය. ඥාති සහෝදරයෙකු විසින් ඔහුට ආහාර රැගෙන ගිය අවස්ථාවක නිවස තුළ නිරුවතින් වැතිරී සිටි දේහය දැක තිබේ.




මෙම සිද්ධියට සමගාමීව අසාධ්‍ය තත්ත්වයෙන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ තවත් තිදෙනෙකුද මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය. රෝහලේදී මියගිය පිරිස අතර පැල්මඩුල්ලේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්, මාකොළ පදිංචි කාරියවසම් හේවගේ ජයන්ත (56) සහ අනන්‍යතාවය තහවුරු කර නොගත් අයෙකු වෙති. මීට අමතරව රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් තිදෙනෙකු මීගමුව මහා රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව පැවසේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි මියගිය සහ රෝහල් ගතකළ සියලු දෙනා පසුගිය 04 වැනිදා සවස වෙන්නප්පුව, වයික්කාල, තඹරවිල ප්‍රදේශයේ කාන්තාවකගෙන් කසිප්පු මිලදී ගෙන පානය කර ඇත. මියගිය කම්කරු සේවකයන් පසුගිය කාලය පුරාම අධික ලෙස මත්පැන් පානයට යොමුව සිටි බවත්, ඇතැම් දිනවල සේවයට පවා නොපැමිණි බවත් කර්මාන්ත ශාලා හිමිකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. ඔවුන්ගේ රෝගී තත්ත්වයන් වෙනුවෙන් පසුගිය 05 වැනිදා පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටද හිමිකරු කටයුතු කර ඇත.




සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 60 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය මීට පෙරද කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් අත්හිටවූ සිරදඬුවම් ලබා ඇති තැනැත්තියක් වුවද, අධිකරණ නියෝග නොතකමින් දිගින් දිගටම මෙම ජාවාරම සිදුකර තිබේ. තොග වශයෙන් ගෙන එන කසිප්පු පැකට් කර “ඊෂි කෑෂ්” ක්‍රමයට අලෙවි කිරීම ඇය විසින් සිදුකර ඇති බවත්, තමන් සිදු කරන්නේ අලෙවි කිරීම පමණක් බවත් ඇය පොලිසිය හමුවේ පවසා ඇත.

වෙන්නප්පුව සහ දංකොටුව ප්‍රදේශ දිගු කලක සිට නීති විරෝධී මත්පැන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, කර්මාන්ත ශාලා සේවකයන් අඩු මුදලට මත්පැන් ලබා ගැනීමේ අරමුණින් මෙවැනි තැන් වෙත ඇදී යාම සුලබ දසුනකි. පොලිසිය කොතෙක් වැටලීම් සිදු කළද ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම භාවිතා කරමින් නීතියෙන් රිංගා යෑමට කටයුතු කරන බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතා පෙන්වා දෙයි. පස්දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙන අතර අදාළ සැකකාර කාන්තාවගේ ප්‍රකාශ මත කසිප්පු නිෂ්පාදකයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකය.



මරණවලට අදාළ ස්ථානීය පරීක්ෂණ මාරවිල මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා විසින් සිදු කළ අතර, දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත මහා රෝහලේදී පැවැත්වීමට නියෝග කර ඇත. වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී අසේල පුල්වංශ සහ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවති.

gossiplanka image 1