ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව (WEF) අමතමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක දේශපාලනය උණුසුම් කරවන ආන්දෝලනාත්මක අදහස් රැසක් පළ කර තිබේ. විශේෂයෙන් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය සැලැස්ම සාධාරණීකරණය කළ ඔහු, ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව තහවුරු කළ හැක්කේ ඇමෙරිකාවට පමණක් බව අවධාරණය කළේය.
කෙසේ වෙතත්, පළමු වරට මෙම කරුණ පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් දක්වමින් ඔහු කියා සිටියේ ග්‍රීන්ලන්තය ලබා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව හමුදා බලය භාවිතා නොකරන බවයි. ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ලබා දීමට විරුද්ධ වන යුරෝපීය රටවල් දැඩි ලෙස විවේචනය කළ ජනාධිපතිවරයා, තමන් ඉල්ලා සිටින්නේ "අයිස් කුට්ටියක්" පමණක් බවත් යුරෝපය එය ලබා දීමට සූදානම් නොමැති බවත් පැවසීය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියෙන් ඩෙන්මාර්කය බේරා ගත්තේ ඇමෙරිකාව බව සිහිපත් කළ ට්‍රම්ප්, එතරම් උදව්වක් කර තිබියදීත් අද වන විට ඩෙන්මාර්කය ග්‍රීන්ලන්තය අත්හැරීමට අකමැති වීම පුදුම සහගත බවත්, ඔවුන් "කළගුණ නොදත්" පිරිසක් බවත් ප්‍රකාශ කළේය.මෙම දේශනයේදී ට්‍රම්ප් විසින් ප්‍රංශය, කැනඩාව සහ සෝමාලියාව වැනි රටවල් ඉලක්ක කර ගනිමින් දරුණු විවේචන එල්ල කරන ලදී. සෝමාලියාවේ ජනතාව පිළිබඳව අතිශය අපහාසාත්මක වචන භාවිතා කළ ඔහු, එම ජනතාව "අඩු බුද්ධි මට්ටමක් ඇති" පිරිසක් සහ "මුහුදු කොල්ලකරුවන්" ලෙස හැඳින්වීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය. කැනඩාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ කැනඩාවට ඇමෙරිකාවෙන් බොහෝ දේ නොමිලේ ලැබෙන බවත්, එම රට පවතින්නේ ඇමෙරිකාව නිසා බවත්ය. කැනේඩියානු අගමැතිවරයා ඊළඟ වතාවේ ප්‍රකාශ නිකුත් කරන විට ඇමෙරිකාවට ණයගැති බව මතක තබා ගත යුතු යැයි ට්‍රම්ප් අවධාරණය කළේය. මීට අමතරව, අවශ්‍යතාවයක් වුවහොත් නේටෝ (NATO) සංවිධානය ඇමෙරිකාවට උදව් කරනු ඇතැයි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවද ඔහු සඳහන් කළේය. රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේ වගකීම යුරෝපය විසින් සම්පූර්ණයෙන්ම දැරිය යුතු බවත්, ඇමෙරිකාව යුක්රේනයට වඩා බොහෝ දුරින් පිහිටි රටක් බැවින් එම බර ඇමෙරිකාවට දැරිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
දේශීය ආර්ථික කරුණු පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ ඇමෙරිකාව "කුලී නිවැසියන්ගේ රටක්" බවට පත් වීමට තමන් ඉඩ නොදෙන බවයි. ඒ අනුව විශාල සමාගම් විසින් සාමාන්‍ය ජනතාවට හිමි විය යුතු තනි පවුලේ නිවාස මිලදී ගැනීම වැළැක්වීමට විධායක නියෝගයකට අත්සන් තැබූ බව ඔහු හෙළි කළේය. ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙනිසියුලාව සමඟ ඛනිජ තෙල් බැරල් කෝටි 5ක් සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇති බවත්, ඇමෙරිකානු තෙල් සමාගම් හරහා දෙරටටම විශාල ආර්ථික වාසියක් අත්කර දෙන බවත් ඔහු පැවසීය. ප්‍රංශයේ ඖෂධ මිල ගණන් පාලනය නොකළහොත් එරට වයින් සහ ෂැම්පේන් සඳහා 100%ක බදු පනවන බවට තමා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට තර්ජනය කළ බවද ට්‍රම්ප් අනාවරණය කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පැවසුවේ ඇමෙරිකානු ආධිපත්‍යය දරන ගෝලීය පද්ධතිය දැන් අවසන් වී ඇති බවයි. පැරණි ලෝක රටාව නැවත නොපැමිණෙන බවත්, තීරුබදු ආයුධයක් ලෙස භාවිතා කරමින් බලවතුන් තම අභිමතාර්ථ ඉටු කර ගැනීමට උත්සාහ කරන බවත් ඔහු චෝදනා කළේය. ජාත්‍යන්තර නීති රීතිවලට අනුව ලෝකය පාලනය වනු ඇතැයි සිතීම මිථ්‍යාවක් බවත්, රටවල් තමන්ගේ ආරක්ෂාව සහ බලශක්ති සුරක්ෂිතතාව තනිවම සලසා ගත යුතු බවත් කැනේඩියානු අගමැතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර, ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වී සමුළුවට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමට නියමිත බවත්, යුද්ධය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති පුටින් සමඟද සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළේය.
