ඊයේ (18) දිනයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් මිලියන තිස් හතරකට අධික වටිනාකමකින් යුත් නවීන ජංගම දුරකතන 397ක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවයි.
අත්අඩංගුවට පත්වන විට, සැකකරු මෙම දුරකතන තොගය ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ "හරිත මාවත" (Green Channel) ඔස්සේ රැගෙන යමින් සිට ඇත.අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) නිසි අවසරයකින් තොරව මෙන්ම, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට කිසිදු ප්‍රකාශයක් නොකර, ඔහු මෙම ජංගම දුරකතන තොගය මෙරටට ගෙනවිත් තිබී ඇත.
සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු තුනක් තුළ මෙම නවීන ජංගම දුරකතන තොගය සඟවා තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මේ වන විටත් අදාළ පුද්ගලයා රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
