a-thousand-israeli-nursing-jobs-this-year

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) 2026 වර්ෂය වන විට ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට පුළුල් සැලසුමක් දියත් කර තිබේ.





මෙම රැකියා අවස්ථා සඳහා අයදුම්පත් කැඳවනු ලබන්නේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි, වයස අවුරුදු 25ත් 45ත් අතර ශ්‍රී ලාංකිකයින්ගෙනි. විශේෂයෙන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හෝ එහි අනුමත පුහුණු ආයතනයක සාත්තු සේවා පුහුණු පාඨමාලාව සම්පූර්ණ කර NVQ III සහතිකය ලබා ඇති අය හෝ හෙද වෘත්තියේ මාස 11කට නොඅඩු පළපුරුද්දක් ඇති පුද්ගලයින් සුදුසුකම් ලබයි. මනා ඉංග්‍රීසි භාෂා හැකියාවක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, කාර්යාංශය මඟින් පවත්වනු ලබන ඉංග්‍රීසි පාඨමාලාවක් සාර්ථකව නිම කර ඇති අයට ප්‍රමුඛතාව හිමිවේ. රැකියා ලාභීන්ට වසර 5ක වලංගු වීසා බලපත්‍රයක් හිමිවන අතර, මාසිකව රුපියල් ලක්ෂ 6කට අධික වැටුපක් උපයා ගැනීමට අවස්ථාව සැලසේ.




ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමකට අනුව මෙම සාත්තු සේවා රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, එම ගිවිසුම යටතේ දැනටමත් 2,656 දෙනෙකුට ඊශ්‍රායලයේ රැකියා ලබා දී තිබේ.

තවද, 2026 වර්ෂය ආරම්භ වී ගතවූ කෙටි කලක් තුළ, එනම් මුල් සති දෙක තුළදී පමණක්, ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 107 දෙනෙකු ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමට කාර්යාංශය කටයුතු කර තිබීම විශේෂත්වයකි.



මෙම සියලුම රැකියා අවස්ථා ලබාදෙනු ලබන්නේ ඊශ්‍රායල් රජය වෙනුවෙන් එරට ජනගහණ හා සංක්‍රමණ සේවා අධිකාරිය (PIBA) සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව රජය මඟින් පමණි. එබැවින්, මෙම ක්‍රියාවලියට කිසිදු බාහිර ආයතනයකට හෝ පුද්ගලයෙකුට මැදිහත් වීමට හැකියාවක් නොමැති බව කාර්යාංශය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් වෙනත් කිසිදු පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් තරයේ ඉල්ලා සිටී.