a-student-who-came-to-the-medical-faculty-without-passing-the-exam-was-caught

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට නීත්‍යානුකූලව ඇතුළත් නොවූ මධ්‍යම පළාතේ මහනුවර ප්‍රදේශයේ තරුණියක්, මාස දෙකක කාලයක් තිස්සේ නේවාසිකාගාර පහසුකම් ද භුක්ති විඳිමින් දේශනවලට සහභාගී වීමේ ආන්දෝලනාත්මක සිද්ධියක් වාර්තා වේ. අදාළ සිසුවිය අපොස උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් පමණක් ලබා ගත් අයෙකු බවත්, ඇයට විශ්වවිද්‍යාල වරම් හිමිව නොතිබූ බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.




පසුගිය නොවැම්බර් මාසයේදී යාපනය වෛද්‍ය පීඨයේ නවක සිසුන් සඳහා දේශන ආරම්භ වූ දා සිට මෙම තරුණිය ලියාපදිංචියකින් තොරවම සෙසු සිසුන් සමඟ අධ්‍යයන කටයුතු වල නිරත වී ඇත. තමන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබී ඇති බව පවසමින් ඇය වෛද්‍ය පීඨ කාන්තා නේවාසිකාගාරයේ ද රැඳී සිටිමින් මාස දෙකක කාලයක් පුරාවට දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී ඇත්තේ වෛද්‍ය පීඨ පාලනාධිකාරියේ ද ඇස වසමිනි.

මෙම වංචනික ක්‍රියාව අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා (16) දින සිසුන් කණ්ඩායම් වශයෙන් බෙදා සිදුකළ අධ්‍යයන ක්‍රියාකාරකමක් අතරතුරදීය. යාපනය විශ්වවිද්‍යාලයේ 2025 වසර සඳහා වෛද්‍ය සිසුන් 202 දෙනෙකු සිටිය යුතු වුවද, එදින සිසුන් 203 දෙනෙකු සිටීම ගැටලුවට හේතු වී ඇත. එහිදී අදාළ සිසුවිය සතුව ශිෂ්‍ය ලියාපදිංචි අංකයක් නොමැති වීම හේතුවෙන් සෙසු සිසුන්ට මතු වූ සැකය මත ඔවුන් වහාම පීඨ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.




සිද්ධිය මුල් කරගෙන පීඨය තුළ යම් නොසන්සුන්තාවයක් ද හටගත් අතර, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයේදී ඇය ව්‍යාජ ලෙස පෙනී සිටි සිසුවියක් බව තහවුරු වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය පීඨාධිපති ආර්. රවීන්ද්‍රන් මහතා සිද්ධිය සත්‍ය බව තහවුරු කළ අතර, ඉදිරි නීතිමය හා පරිපාලනමය පියවර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත මේ වන විටත් කරුණු වාර්තා කර ඇති බව සඳහන් කළේය.