සමාජ මාධ්‍ය සහ දුරකථන ඇමතුම් භාවිත කරමින් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවන් පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් 2026 ජනවාරි 18 වන දින මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කර ඇත. විදේශීය හෝ දේශීය රැකියා අවස්ථා ලබා දෙන බවට හෝ ත්‍යාග දිනුම් ඇදීම් ජයග්‍රහණය කර ඇති බවට පවසමින් මෙන්ම, නීතිමය පියවර ගන්නා බවට ව්‍යාජ තර්ජන එල්ල කරමින් පුද්ගලයින් රවටා මුදල් ලබා ගැනීමේ ජාවාරම් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබේ.
මෙවැනි වංචාකරුවන් අන්තර්ජාල සබැඳි (Links), හානිකර මෘදුකාංග (Malicious extensions) සහ QR කේත වැනි උපක්‍රම භාවිත කරමින් බැංකු ගිණුම් තොරතුරු, රහස්‍ය අංක (Passwords), OTP අංක සහ PIN අංක වැනි ඉතා සංවේදී දත්ත සොරාගන්නා බව විමර්ශනවලදී හෙළි වී ඇත. මෑතකාලීනව, බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන් අමතන ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ජාවාරම්කරුවන් දුරකථන ඇමතුම් ලබා දෙමින් ගිණුම් හිමියන් බිය ගැන්වීම සඳහා පවසන්නේ, ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ මුදල් බැර වී ඇති බවයි. එමගින් ගිණුම් හිමියන් දැඩි ලෙස බියට හා ත්‍රස්තයට පත් කර, එම මුදල් වංචාකරුවන් විසින් ලබා දෙන වෙනත් ගිණුම් වෙත බැර කරවා ගැනීමට ඔවුන් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇත.
මෙවැනි වංචනික ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් තොරතුරු, OTP හෝ PIN අංක කිසිදු තෙවන පාර්ශ්වයක් වෙත ලබා නොදෙන ලෙසත්, සැක සහිත සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසත් පොලිසිය ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී. මුදල් තැන්පත් කිරීමට පෙර අදාළ පාර්ශ්වයන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙසත්, යම් වංචාවක් පිළිබඳ තොරතුරු ඇතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය වෙත හෝ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ 011-2852556, 075-3994214 යන අංකවලට හෝ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ 011-2300638, 011-2381375 සහ 011-2381058 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැක.
