70 දශකයේ සිංහල සිනමා තිරය මෝහනය කළ රංගන ශිල්පිනියක වූ බියුලා ඩයස් කරුණාරත්න මහත්මිය පසුගියදා සිය 80 වැනි උපන්දිනය සැමරුවේ වසර ගණනාවකට පසු විදේශයක සිට මෙරටට පැමිණෙමිනි. ඇය, එදා අහම්බයෙන් සිනමාවට පිවිසි ආකාරයත්, 70 දශකයේ සිනමා තරුවක් ලෙස විඳි අත්දැකීම් පිළිබඳවත් රසවත් මතකයන් රැසක් අවදි කළාය.
බොහෝ අය පවසා තිබුනේ ඇගේ වයස 80 ක් බව කියන්නට අපහසු බවකි. ඇගේ සොහොයුරාගේ දියණිය මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක නිලන්ති ඩයස්ය. බියුලා සමග කථාබහ අතරට නිලන්තිද එක්ව සිටියාය. සිරස නාලිකාව සමග ඇය පැවැත්වූ සාකච්ඡාවේදී කියා සිටියේ ඇය සිනමාවට පිවිසෙන්නේ වයස අවුරුදු 26දී බවයි. ඇගේ පළමු චිත්‍රපටය වූ 1974 තිරගත වූ "දුලීකා" හරහා මෙරට සිනමා රසිකයන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වූවාය. මාලිනී ෆොන්සේකා වැනි දැවැන්ත රංගන ශිල්පිනියන් සිටි යුගයක, අලුත් මුහුණක් ලෙස ඇයට සිනමාවට එක්වන්නට අවස්ථාව ලැබුණේ අහම්බයෙනි.බියුලා ඩයස් කරුණාරත්නගේ සැමියා වූයේ ට්‍රෙවර් කාර්නහොෆ් ය. ඔවුන් විවාහයෙන් පසු කැනඩාවේ පදිංචියට ගොස් තිබුණි. සැමියා ගුවන්තොටුපළ සංවර්ධනයේ දීර්ඝ හා සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කළ කැනේඩියානු වෘත්තිකයෙකි. ඔහු ලොව පුරා ගුවන්තොටුපළ ව්‍යාපෘති 20 කට වැඩි ගණනක සේවය කළ අතර වසර 35 කට වැඩි කාලයක් කර්මාන්තයේ නියැලී සිටියේය.
එදා සිනමාවේ අසමසම පෙම්වතා වූ විජය කුමාරතුංගයන් සමඟ රංගනයෙන් දායක වීමට ලැබීම තමන් ලද මහඟු අවස්ථාවක් ලෙස සලකන බියුලා, ඔහු තමන්ට රංගනය පිළිබඳව ලබා දුන් සහයෝගය අතිශය ගෞරවයෙන් සිහිපත් කළාය.
විශේෂයෙන්ම "දුලීකා" චිත්‍රපටයේ "ආදර මල් පවනේ" ගීතය රූගත කළ ආකාරය සහ එක් ජවනිකාවකදී කන්දක් පල්ලම් දිගේ රෝල් වී වැටී විජය කුමාරතුංගයන්ගේ දෑත මත අවසන් හුස්ම හෙළන දර්ශනය ඇය තුළ අදටත් නොමැකී පවතින මතකයකි. එම දර්ශනයෙන් පසු විජය තමන්ව උස්සාගෙන කන්ද මුදුනටම පැමිණි අයුරු ඇය සිනාසෙමින් සිහිපත් කළේ, සැබෑ රංගන ශිල්පියකුගේ කැපවීම එබඳු වූ බව පවසමිනි. එදා සිනමාවේ නර්තන ශිල්පිනියන් අතලොස්සක් සිටි යුගයේ ඇය කැපී පෙනෙන රංගනයක නිරත වුවද, පෞද්ගලික හේතූන් මත සිනමාවෙන් ඈත්වීමට ඇයට සිදු විය.
වසර හතළිස් පහකට පෙර සිනමාවෙන් ඈත්ව විදේශගත වුවද, මෙරට රසිකයන් තවමත් ඇයට දක්වන ආදරය පුදුම සහගත බව විවිධ ඩයස් පවසන්නීය. එදා තමන් වෙත පැමිණි ලියුම් කන්දරාවන් සහ සූට්කේස් පිරෙන්නට තිබූ රසික ප්‍රතිචාර තවමත් ඇගේ සිතේ තැන්පත්ව ඇත. ඇය පවසන්නේ අදටත් තමන්ට සිනමාවට පිවිසීමට අවස්ථාවක් ලැබුණහොත්, විශේෂයෙන් වයසක මවකගේ චරිතයක් හෝ ගැමි කාන්තාවකගේ චරිතයක් රංගනයෙන් ඉදිරිපත් කිරීමට දැඩි කැමැත්තක් දක්වන බවයි.
මෙම කතාබහට ඇගේ සොහොයුරාගේ දියණිය මෙන්ම මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක සහ නර්තන ශිල්පිනියක වන නිලන්ති ඩයස් ද එක්වූවාය. තමන් රංගන ක්ෂේත්‍රයට පිවිසීමට සිය නැන්දාගෙන් ලැබුණු ආභාසය සහ ඇය විජය කුමාරතුංග වැනි දැවැන්තයන් සමඟ රඟපෑ ආකාරය පිළිබඳව තමන් ආඩම්බර වන බව නිලන්ති පැවසුවාය. වසර අසූවක් වුවද තවමත් එදා මෙන්ම සුන්දර පෙනුමකින් පසුවන විවිධ ඩයස් මහත්මිය, සිංහල භාෂාව කතා කිරීමට තරමක් අපහසු වුවද, සිය රට සහ රසිකයන් කෙරෙහි පවතින ලෙන්ගතුකම නොවෙනස්ව පවතින බව සපථ කළාය.
ඇගේ සම්පූර්ණ සාකච්ඡාව පහතින්
බියුලා ඩයස් කරුණාරත්න මහත්මියනි, මුලින්ම ඔබට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. දැන් කොච්චර කාලෙකට පස්සේද ලංකාවට ආවේ?.
"මම අවුරුදු දෙකකට කලින් ආවා. හැබැයි ඊට පෙර මගේ දුව විවාහ වන විට අවුරුදු දොළහකට කලින් ආවා".
දැන් සිනමාවට ආවේ කොයි කාලේද? වයස කීයේදී වගේද?
"වයස විසි හයක් විතර ඇති. මීට අවුරුදු හතළිස් පහකට විතර කලින් මම ඔය චිත්‍රපට කළේ. වැඩිය කළේ නැහැ, මොකද මට ගිවිසුමක් (contract) තිබුණා. ඒ කාලේ චිත්‍රපට නමයක් විතර කෙරුණා. මම දිගටම හිටියා නම් තවත් සිංහල චිත්‍රපට ගොඩක් කරන්න තිබුණා. ඉතින් ඒ වාසනාව තිබුණේ නැහැ කියලා කියන්නත් බැහැනේ."
ඒ දවස්වල ලැබුණු රසික ප්‍රතිචාර ගැන මතක් කරමු.
"අමතක නොවන අත්දැකීම් තිබුණා. මම පසුවයි ලංකාවට ආවේ. එතකොට කේ.ඩබ්ලිව්. මහත්මයා මාව සිනමා ශාලාවකට එක්කගෙන ගියා. එතකොට තමයි මම දැනගත්තේ මම මෙච්චර ජනප්‍රිය නිළියක් කියලා. මම අහම්බෙන් තමයි නිළියක් වුණේ. මම රසිකයන් දකිනකොට බය වුණා. හැමෝම මා දෙස බලන විට කේ.ඩබ්ලිව්. කිව්වා 'ඔයාව බලන්නයි ඔය ඇවිත් ඉන්නේ, අත ටිකක් උස්සලා ආචාර කරන්න' කියලා. එතකොට තමයි මම දන්නේ මේ අය ඇවිත් ඉන්නේ මාව බලන්න කියලා."
අහම්බෙන් නිළියක් වුණා නම්, එතකොට මොකක්ද ජීවිතේ තිබුණු හීනය? නර්තන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්නද හිතුවේ?
"එහෙම එකක් හිතුවේම නැහැ. අපි පුණ්‍ය කටයුත්තකට (charity) ආවා, මම හා කිව්වා, ඒක කළා. ඒ චරිතය මට ලැබුණේ මාලිනී ෆොන්සේකා ඒ වෙලාවේ වැඩිපුර චිත්‍රපට බාරගෙන නොතිබුණු නිසා වෙන්න ඇති. මම අලුත් මුහුණක් නිසා මට ඒ අවස්ථාව ලැබුණාද දන්නේ නැහැ. මම 'දුලීකා' කරනකොට කිසිම චිත්‍රපටයක් හෝ නාට්‍යයක් කරලා තිබුණේ නැහැ. ඉතින් මගෙන් ඇහුවා වෛරයක් පිරිමසන චරිතයක් කරන්න පුළුවන්ද කියලා. මම කේ.ඩබ්ලිව්. මහත්මයාට කිව්වා මට ඕන දෙයක් කියන්න මම කරන්නම් කියලා."
"එයා තමයි මාව මෙහෙයවූයේ. හැබැයි මට එක දෙයක් කරන්න බැහැ, මට අඬන්න බැහැ. කෑගහලා අඬන එක මම කරලා නැති නිසා මම දැනගෙන හිටියේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා. ඒ චරිතය නිකම්ම ප්‍රසිද්ධ වුණා, මොකද මම වෙනස්ම මුහුණක් ඇතිව රට ඉඳලනේ ආවේ. මම සිංහල චිත්‍රපට කිසිවක් දැකලා තිබුණේ නැති නිසා කාගෙවත් රංගනයන් කොපි කරන්න මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම සාර්ථක වුණාද දන්නේ නැහැ. 1974 වර්ෂයේ තමයි 'දුලීකා' චිත්‍රපටය තිරගත වුණේ."
රටක් ආදරය කරපු විජය කුමාරතුංග මහත්මයාත් එක්ක රඟපාන්න ලැබීම ඕනෑම රංගන ශිල්පිනියකගේ හීනයක්?
"ඒ අවස්ථාව ලැබෙන විට මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මම චිත්‍රපට ක්ෂේත්‍රයේ කිසිවෙකු හඳුනන්නේ නැහැ. විජය කුමාරතුංග මහත්මයා ඒ වෙලාවේ කොයිතරම් ප්‍රසිද්ධද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම කළේ මට කියපු දේ පමණයි ."
රඟපාද්දී අමතක නොවන අත්දැකීම් ඇති.
"අපෝ මට හොඳට මතකයි. මට එහි මැරෙන දර්ශනයක් තිබුණා. කන්ද පල්ලෙහාට රෝල් වෙලා, රෝල් වෙලා වැටිලා විජේගේ අත් උඩ තමයි මම මැරුණේ. ඉතින් එයා මාව උස්සාගෙන කන්ද උඩට එන්න ඕනේ. උස්සාගෙන කන්ද නගින එක ලේසි නැහැ. උඩට ආවට පස්සේ එයා කිව්වා 'ඔයා හරි බරයිනේ' කියලා. එතකොට තමයි මම දැනගත්තේ පොඩි කෙනෙක් වුණත් උස්සාගෙන කන්දක් නගින එක කොච්චර අමාරුද කියලා. කොහොම හරි එයා ඒක කළා."
විජය කුමාරතුංග මහත්මයාත් එක්ක රඟපාද්දී ඔහුගෙන් ලැබුණු සහයෝගය ගැන මතක් කළොත්?
"ඔව්, එයා මට ගොඩක් උදව් කළා. මම මේ ක්ෂේත්‍රය ගැන මුකුත් දැනගෙන හිටියේ නැහැනේ, ඒ නිසා එයා කරන කියන විදිහට මමත් කළා. මට කැමරා ශිල්පීන්ගෙන් සහ අනෙකුත් සහායකයන්ගෙන් ලොකු උදව්වක් ලැබුණා. පිටපත (script) කියවන්න පවා ඔවුන් උදව් කළා. මම ප්‍රසිද්ධ වුණේ ඔවුන් නිසයි."
"මම චිත්‍රපට දහයක් විතර කළා නම් මම මීට වඩා දේවල් දැනගන්නවා. මුහුණ හරවන්නේ කොහොමද, හිනා වෙන්නේ කොහොමද, දෑත් තබා ගන්නේ කොහොමද කියලා එතකොට මම දැනගන්නවා. ඒ දවස්වල මම ඒ කිසිවක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මම ඒ රංගනයන් ගොඩක් රස වින්දා (enjoy කළා). මම මේ ක්ෂේත්‍රය ගැන මුකුත්ම නොදැනයි ආවේ. හැම දර්ශනයකදීම වගේ එයා එක්කෝ මාව අල්ලගෙන ඉන්නවා, නැත්නම් මාව පොඩ්ඩක් හරවනවා. කැමරාවට පෙනෙන විදිහට එයා මට ගොඩක් උදව් කළා. 'හිමීට මේ පැත්ත බලලා හිනා වෙන්න' කියලා එයා මට කියලා දුන්නා. රංගන ශිල්පිනියක් විදිහට ඒ දවස්වල මිනිසුන් අතර ගොඩක් ජනප්‍රිය වුණානේ. පිටරට ඉඳලා ඇවිත් දවස් විස්සක් යනකොට තැපැල්කරු ඇවිත් මට ලිපි ගොඩක් දුන්නා. මම ඒ වෙලාවේ බය වුණා. මේ ඔක්කොම මට ලැබුණු ප්‍රතිචාරද කියලා හිතලා මම පුදුම වුණා. මල්ලි මට මතකයි කියනවා 'ඕක විතරක් නෙමෙයි, තව සූට් කේස් එකක් පිරෙන්න ලිපි තියෙනවා' කියලා. ඒ ලිපිවලින් මාව ගොඩක් දිරිමත් කළා. ඒ අය තාමත් ඉන්නවාද දන්නේ නැහැ".
"හුඟක් දෙනෙක් මට ලිව්වේ නිළියක් වෙන්න ආසයි කියලා. ඉතින් මම කොහොමද ඔවුන්ට උදව් කරන්නේ? මම ලංකාවේ හිටියෙත් නැහැනේ. හැබැයි ඒ ලැබුණු ආදරය නිසා මට ලොකු විශ්වාසයක් (confidence) ආවා. මම හරිම වාසනාවන්තයි කියලා මට හිතුණා".
දැන් දුක හිතුණේ නැද්ද සිනමාවෙන් සහ රංගනයෙන් ඈත් වූ එක ගැන?
"ඒක හරියටම කියන්න බැහැ, මට දුකක් දැනුණේ නැහැ. නමුත් ආපසු ලංකාවට ආවාට පස්සේ තමයි දැනගත්තේ මෙහෙම රසික කැලක් (fan club) මට ඉන්නවා කියලා. ඒ ගොල්ලෝ මට ගොඩක් ආදරෙයි. ඇයි මම ආයෙත් රඟපාන්න එන්නේ නැත්තේ කියලා ඔවුන් අහනවා."
දැන් මේ වෙලාවේ අපි බලාගෙන ඉන්න අලුත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඔබට රඟපාන්න ආරාධනා කළොත්, ඔබ එය බාරගන්නවාද?
"මම හරිම ආසයි නාකි අම්මෙක් වගේ චරිතයක් කරන්න. එතකොට රූපය වෙනස් කරලා පෙන්වන්න පුළුවන්. අර රෙද්ද හැට්ටය ඇඳලා, ඔළුවේ කසළ රෙද්දක් බැඳලා කරන චරිතයක් වගේ. රෙදි හෝදන, හිරමනේ පොල් ගාන චරිතයක්. ඒක මම සාමාන්‍යයෙන් හිතන දෙයක් නෙමෙයි, ඒත් මම රඟපාන්න ඕනෑ එහෙම චරිතයක්. මම හරි ආසයි නාකි, සුදු කොණ්ඩයක් තියෙන චරිතයක් ලැබුණොත් කරන්න. එවැනි අවස්ථාවක් ලැබුණොත් මම හරිම කැමතියි."
ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට කිව යුත්තේ කුමක්ද?
"අවස්ථාවක් ලැබුණොත් එය ලබා ගන්න. උත්සාහ කරලා බලන්න, ඕනෑම චරිතයක් කරන්න උත්සාහ කරන්න. මොකද චිත්‍රපට ක්ෂේත්‍රයේ ගොඩක් අය උදව් කරනවා."
බියුලා ඩයස් කරුණාරත්න මහත්මියගේ ඒ කාලේ රූපය බලද්දී, දැන් අපට ඒ වගේම සමීප රූපයක් තියෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි නිලන්ති ඩයස්. දැන් මේ දෙන්නා ඇත්තටම කවුද? ඔවුන් අතර ඇති සම්බන්ධය මොකක්ද?
"නිලන්ති මගේ මල්ලිගේ දුව, මම එයාගේ නැන්දා. ඒ කියන්නේ මම එයාගේ තාත්තාගේ අක්කා ." කොච්චර සුන්දරද, දෙන්නා නිකම් එක වගේමයි. සිනමා ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ඔබ දෙන්නා එක වගේමයි කියලා ගොඩක් අය කියනවා ඇති."
නිලන්ති -
"මම හිතන්නේ ගොඩක් අය එහෙම කියනවා. මට ඇත්තටම ආන්ටි (නැන්දා) වගේ වෙන්නයි ඕනෑ. මම නිලන්තිව මගේම දුවෙක් වගේ තමයි හිතන්නේ. ඉතින් ඇත්තටම මටත් ආඩම්බරයි.
මගේ ආන්ටි ගැන මම හරිම ආඩම්බර වෙනවා. මම මේ ක්ෂේත්‍රයට ආවේත් අහම්බෙන්, මම හිතුවෙවත් නැතිවයි. මම කවදාවත් මගේ ආන්ටි කවුද කියලා කියමින් ක්ෂේත්‍රයට ආවේ නැහැ. මගේ ආන්ටි විජය කුමාරතුංග වගේ ප්‍රවීණ දක්ෂ නළුවෙක් එක්ක රඟපාන්න ලැබීම ගැන මම හරිම සතුටු වෙනවා. අපි ඒ කාලය දැකලා නැතත්, අදටත් අපි ඒ අයව අනුගමනය කරනවා. ඒ අයගේ ගීතවලට රඟපාන්න අපි උත්සාහ කරනවා."
බියුලා-
"මෙයා පොඩි කාලේ ඉඳලම හරි දක්ෂයි. අවුරුදු හතරේ පහේ ඉඳලම අම්මාගේ රෙදි ඇඳගෙන අපිට නර්තන දර්ශන පෙන්වනවා. ඉතින් මම දැනගත්තා මෙයා ලොකු වුණාම ප්‍රධාන කෙනෙක් වෙයි කියලා, විශේෂයෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක් වෙයි කියලා. අද වගේ දවසක ඇය මගේ උපන්දිනය සමරන එක ගැන මම හරිම සතුටු වෙනවා."
ඔබට සිංහල ටිකක් අමතක වෙලා නේද ඉන්නේ?
"ඔව්, ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද මම දැන් සිංහලෙන් කතා කරන්නේ නැහැ. මම ඉන්න තැන කතා කරන්න කවුරුත් නැහැ, මම උගන්වන්නේත් ඉංග්‍රීසියෙන්. ඒ නිසා සිංහලෙන් කතා කරන එක දැන් ටිකක් අමාරුයි."
දැන් වයස 80 වුණාට, අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ 100 වැනි උපන්දිනයත් සමරන්න ලැබේවා කියලා.
"බොහෝම ස්තූතියි, එහෙම වුණොත් මම ආපහු ලංකාවට එනවා. හැරමිටියක් අරගෙන හරි මම 100 වැනි උපන්දිනය සමරන්න එනවා."
