ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ නේවාසික ප්‍රදේශයක සිදුවූ දරුණු නායයෑමකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අතුරුදන්ව සිටින තවත් 80 දෙනෙකු සොයා එරට බලධාරීන් සිය මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ. පසුගිය සිකුරාදා දින සිට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සෙනසුරාදා අලුයම මෙම ස්වාභාවික ව්‍යසනය හටගෙන ඇති අතර, ඉදිරි සතියක කාලය තුළද එම පළාත ඇතුළු කලාප කිහිපයකට තවදුරටත් තද වැසි පතිත විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා සිට කිලෝමීටර් 100 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි පසිර් ලංගු (Pasir Langu) නමැති කඳුකර ගම්මානයේ පදිංචිකරුවන් පවසන්නේ තම ගම්මානය අසල ගංගාවෙන් මීට පෙර සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා වුවද, වනාන්තර දෙසින් පැමිණි මෙවැනි දැවැන්ත නායයෑමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බවයි.
කඳු බෑවුම් සහිත ප්‍රදේශයේ පවතින අස්ථායී පස් ස්ථර සහ දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් සහන සේවා කටයුතු සඳහා බර යන්ත්‍රෝපකරණ යෙදවීමට බලධාරීන්ට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. බටහිර ජාවා පළාතේ සහ ජකර්තා අගනුවර ආශ්‍රිත ප්‍රදේශ රැසකින් ගංවතුර තත්ත්වයන් වාර්තා වී ඇති අතර, දැඩි බලපෑමට ලක්වූ ජනතාව සිය නිවාස අතහැර උස් බිම් කරා හෝ ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට පියවර ගෙන තිබේ.
මෙම ව්‍යසනය සිදුවීමට මාස දෙකකට පමණ පෙර සුමාත්‍රා දූපතේ ඇති වූ සුළි කුණාටුවක් හේතුවෙන් හටගත් ගංවතුර සහ නායයෑම්වලින් පුද්ගලයන් 1,200 ක් පමණ මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන් වූ පසුබිමක මෙම නවතම ආපදා තත්ත්වය වාර්තා වීම විශේෂත්වයකි.